අතීත අකුසල් විපාක දෙද්දී ධර්මය අනුවම සිතන්න

පිංවත් ඔබ ඇත්තටම ලෝකයට ආදරය කරනවාද, එසේත් නැතිනම් ද්වේශකරනවාද. පිංවත් ඔබ සතුටින් පිළිතුරුදේවි, ඔබ ලෝකයට ආදරය කරනවාය කියලා. නමුත් ඒ සතුට, සැපය පිණිස හේතුවෙන සතුටක් නම් නොවේ, මෙය සටහන් තබන භික්ෂුව, ගිහි ජීවිතයේදී ලෝකයට ගොඩාක් ආදරය කළා. ලෝකය මමය කියලා දැක්කා, ලෝකය මගේය කියලා දැක්කා. ලෝකය තුළ මම සිටිනවාය කියලා දැක්කා. ලෝකය මොනතරම් මගේ කොටගෙන, උපාදානයකොට ගත්තත්, ලෝකයේ යාවජීව සාමාජිකයින් වන රූපය වෙනස්වෙලා යද්දි, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් වෙනස්වෙලා යද්දි, ආදරය කරපු ලෝකයට ද්වේශය එබිකම් කළේ ආදරයත් ද්වේශයත් අතර පරතරය එකම සිතුවිල්ලකට සීමාකරමින්.

ඵස්සය අවිද්‍යාවෙන් ගිනිගන්වන ද්වේශය, ඇස්පනාපිට දැක දැකත්, අපි ආයෙමත් ලෝකයට ආදරය කරන්නේ ගිනිදැල්ලට ළංවෙන පළඟැටියෝ වගේමයි. අතීත සංසාරයක් පුරාවට ඇස් දෙකෙන් ලෝකය දැකලා, කන් දෙකෙන් ලෝකය අහලා, මනසින් ලෝකය ගැන සිතලා අපි කොතෙක් නම් ලෝකය ලස්සන සහ අවලස්සන චිත්‍රයක් බවට පත්කොටගන්න ඇතිද. ඇලීම් සහ ගැටීම් නමැති ගොරෝසු වර්ණයන්ගෙන් සිත්තම් කළ චිත්‍රවලට අපි ගොඩාක්ම කැමතියි. සිහින් පැන්සල් තුඩින් ඇඳි උපේක්ෂාවේ චිත්‍රයන්ට අපි එතරම් ප්‍රිය නැහැ.

මෙය සටහන් තබන භික්ෂුව, පාසල් ජීවිතයේදී චිත්‍ර කියන විෂයට කිසිම කැමැත්තක් දැක්වූවේ නැහැ. අදටත් භික්ෂුවට අලියෙක්ගේ රූපයක්, මනුෂ්‍යයෙක්ගේ රූපයක් ලස්සනට අඳින්න බැහැ. පටිච්චසමුප්පන්නව මනුෂ්‍ය ලෝකවල සහ තිරිසන් ලෝකවල කල්ප ගණන් ඇට්ටකුණා වෙච්ච අපි, තවත් මොනවාට නම් මනුෂ්‍ය රූප සහ තිරිසන් රූප සිතුවම්කොට රසවිඳින්නද. රසයට අපි හැමෝම කැමති වුණත්, රසවිඳීම නම් අපේ ජීවිතවලට ලැබෙන්නේ පෙර පින නිසාමයි. අද රාත්‍රියට රසවත් ආහාර වේලක් රස බලන්න ඔබලා හැමෝම කැමති වුණත්, ඒ රසවත් රසවිඳීම ලබන්න පින තිබෙන්නේ කීයෙන් කීදෙනාටද. පිංවත් ඔබ මොන දෙය රසවින්දත්, එම රසය ඵස්සය අග තිබුණදෙන්. එම රසයට ඔබ විඳීම මුසුකොට ගන්න එපා. පිංවත් ඔබ රසය වින්දොත් එතැන හඳුනාගැනීම්, සංස්කාර, විඤ්ඤාණ නමැති ලෝකයම රස බැලූවා වෙනවා.

පිංවත් ඔබ, පෙර පින නිසාම හොඳ ආහාර වේලක් රසවිඳලා රාත්‍රී නින්දට ගියාට පසුව, සිහිනෙන් මළගිය ඥාතීන් පෙනෙනවා නම්, ඒ රාත්‍රිය දුකක්ම නේද? කොරෝනා අකුසලය අපි හැමෝටම තර්ජනාත්මකව ඇඟිල්ල දිගුකරන වර්තමානයේ, පිංවතුන්ලා කිහිපදෙනෙක්ම භික්ෂුවට ප්‍රකාශ කළා, මේ දිනවල රාත්‍රි නින්දේදී, මියගිය ඥාතීන් පෙනෙනවාය කියලා. පිංවත් ඔබටත්, මේ දිනවල රාත්‍රි නින්දේදී මියගිය ඥාතීන් පෙනෙනවා වැඩිනම්, එය මියගිය ඥාතීන්ගේ වරදක් නම් නොවේ. අපි තුළ සකස්වෙන ලෝභ, ද්වේශ, මෝහ, අකුසල් වැඩිවෙනකොට, ජීවිත තුළ දළුලන පංචනීවරණ ධර්මයන්ගේ බලවත්භාවය නිසාම, තමන්ගේම විසිරුණු සිත, අමනුෂ්‍ය රූප මතුකොට දෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ, අමනුෂ්‍ය රූප ගැන නොසිතා අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන් ජීවිතයට එකතුකොටගන්න. එවිට ඔබ තුළ විශ්වාසයක් ඇතිවේවි, ඔබේ රාත්‍රී නින්ද සුවදායී නින්දක් වේවි කියලා. හැබැයි ඉතින් පිංවත් ඔබ පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි තෘෂ්ණාවෙන්, අනාගත පංචඋපාදානස්කන්ධ සැප යදිමින්, නින්දට ගියොත්, ඒ රාත්‍රිය පංචනීවරණයන්ටම අයිති වේවි.

පිංවත් ඔබ, අතීත සංස්කාරයන්ට ජීවිතය භාරදීලා, වර්තමානය තුළ කුසල් ධර්මයන් වඩමින්, කොරෝනා මරණ බියෙන් දුරස් වෙන්න. මරණ බියෙන් අපි දුරස් වෙද්දි, සිතට වදදෙන මියගිය ඥාතීන්ගේ මතකයන් ඔබෙන් දුරස්වෙලා යාවි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබගේ ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් හරිම විචිත්‍රයි කියලා. ඒ වගේම හරිම බියජනකයි කියලා. තෘෂ්ණාවේ ගොපල්ලා, ඇලීම් සහ ගැටීම් තණබිම්වලට, සළායතනයන්ගේ ඵස්සය නමැති ගව රංචුව දක්කනතාක්, ලෝකයේ මිහිර සහ අමිහිර අප සළායතනයන්ගෙන් ලබන පස්ගෝරසයන්ම වෙනවා.

පසුගිය දවසක, පිංවන්ත තාත්තා කෙනෙක් භික්ෂුව ඉදිරියේ හඬාවැටුණා. තමන්ගේ එකම පුතණුවන් විදේශීය රටක උසස් අධ්‍යාපනය ලබද්දී, විශ්වවිද්‍යාලයට යන අතරමඟ හදිසි අනතුරකින් මහපාරේදීම මියගිහිල්ලා. දැන් ඒ දරුවගේ දෙමාපියන්, භික්ෂුවට කියනවා, මියගිය දරුවා කොළඹ පිහිටි තම නිවසේ හොල්මන් කරනවාය කියලා. තමන්ව රාත්‍රියට බියට පත් කරනවාය කියලා.

තෘෂ්ණා පච්චයා උපාදානං, තෘෂ්ණාව නිසාම ඇතිකොටගත් බැඳීම්, අපිව වෙහෙසට පත්කරනවා. මේ දෙමව්පියන්ගේ නිවසේ හොල්මන් කරන්නේ, විදේශ රටකදී මියගිය තම එකම දරුවා නොවේ. එම දෙමව්පියන්ගේම ඵස්සය හේතුවෙන් සකස්වෙන විඳීම් දරුවා කෙරෙහි තෘෂ්ණාවෙන් හොල්මන් කරනවා. තම එකම දරුවා උසස් අධ්‍යාපනය සඳහා විදේශ රටකට යවද්දී, මොන අනාගත බලාපොරොත්තු කන්දක් ඒ ජීවිතවල මෝදුවෙන්නට ඇතිද. ඒ අනාගත පංචඋපාදානස්කන්ධයන් කෙරෙහි බලාපොරොත්තු බිඳවැටෙද්දී, අතු රිකිලි දමා මෝදුවෙච්ච තෘෂ්ණාවට ඉතිරිවෙන්නේ ඵස්සය ඉදිරියේ හොල්මන් කිරීම පමණක්මයි.

භික්ෂුව එම දෙමාපියන්ට අවවාද කළේ, මියගිය දරුවා ගැන සිතන්නේ නැතිව, ඔබ දෙපලගේ ජීවිත වසාගත් දුර්වල සම්මා දිට්ඨියේ අර්ථයන් ගැන සිතන්න කියලයි. අපේ ජීවිත තුළින් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙද්දී, කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව ලෝකය දකින්නේ නැහැ. අපේම අතීත අකුසල් වියරු ආකාරයෙන් විපාකදෙද්දී, අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. ධර්මයට අදාළවම සිතන්න ඕනේ.

සංස්කාර ලෝකය හරිම ඇස්බැන්දුමක්. සුන්දර අතීත කුසල් සංස්කාරයන් විපාකයට පැමිණෙද්දී, එම සංස්කාරයන් අසිහියෙන් භුක්තිවිඳීමේ ඵලයන්මයි වර්තමානයේ වියරු අකුසල් සංස්කාරයන් හැටියට, අපේ ජීවිත දුකට පත්කරන්නේ. වර්තමානයේ අපි අසිහියෙන් භුක්තිවිඳින පෙර පිනට අදාළ සංස්කාරයන් අනාගතයේ විපාකයට පැමිණෙන අකුසල් නිධි බවට පත්වෙනවා නම්, සංස්කාරයන්ට ආදරය කරන්නත් එපා, සංස්කාරයන්ට ද්වේශ කරන්නත් එපා, සංස්කාරයන් කෙරෙහි කලකිරීමම ඇතිකොටගන්න.

පිංවත් දෙමව්පියනි, මොහොතක් දෑස් පියාගෙන, අතීත අකුසල් සංස්කාරයන් විසින් නිවැරදිව තීන්දු කළ මරණ නැකතට සංස්කාරයන් හේතුවෙන්ම සකස්වෙන විඤ්ඤාණය හෙවත් දැනීම් සකස්කොට දරුවා මහපාරට ගෙන්වා, සංස්කාරයන්ගේ නියෝගය ක්‍රියාත්මක වී මරණයට පත්වූ, තම එකම පුතණුවන්ගේ රූපය සිහිපත්කොට, එම රූපයේ අනිත්‍යභාවය දකින්න. තම එකම දරුවා කෙරෙහි ඇතිකොටගත් අතීත, වර්තමාන, අනාගත, විඳීම්, හඳුනාගැනීම්, සංස්කාර, විඤ්ඤාණයන්ගේ අනිත්‍යභාවය දකින්න. එවිට එම පිංවත් දෙමාපියන්ගේ සිතේ හොල්මන් කරන, මියගිය තම එකම පුතාගේ රූපය විදර්ශනාවෙන් මැකීයාවි. සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය මායාකරුවෙක්. පිංවත් ඔබෙම ඵස්සය හේතුවෙන් ඔබ තුළම සකස්වෙන විඤ්ඤාණයේ මායාවමයි, ඔබේම මියගිය දරුවාගේ හොල්මන හැටියට ඔබ නිවස තුළදි දකින්නේ. පිංවත් දෙමාපියනි, කරුණාකර ඔබලාගේ ජීවිත තුළින් කුසල් සංස්කාර ශක්තිමත් කොටගෙන, එසේත් නැතිනම් විදර්ශනාත්මක දැක්ම ශක්තිමත් කොටගෙන, සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණයේ රුව සහ ගුණ යහපත් දිශාවට යොමුකොටගන්න.

කොරෝනා අකුසලය තවමත් අපෙන් ඈත්වෙලා යන්න කැමති නැහැ වගේ. එයා අපේ ඇසුරේ සිටින්නමයි කැමති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා ධාතු ධාතු වශයෙන් බැඳීයනවාය කියලා. කොරෝනා අකුසල් සංස්කාරය තවමත් අපගේ ජීවිත සමග බැඳීයන්නේ, අපේ ජීවිතත් අකුසල් සංස්කාරයන්ගෙන් පිරී ඉතිරී යන නිසාමයි කියලා භික්ෂුවට සිතෙනවා. පිංවත් ඔබ ඔබේ ජීවිතයෙන් පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව හැකිතාක් අවම කොටගන්න. එවිට ඔබේ ජීවිතය තුළින් රැස්වෙන අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන්ට අදාළ නිරෝගි යහපත් ධාතු ස්වභාවයන් නිසා, අකුසලයටම අදාළ කොරෝනා ධාතු ස්වභාවයන්ගෙන්, ඔබව බැහැරට යාවි.

අද උදෑසන භික්ෂුව දාන ශාලාවට වැඩමකොට පිණ්ඩපාතය බෙදාගෙන කුටියට වඩිනකොට, භික්ෂුව දන්නා හඳුනන මහත්මයෙක් මුණගැසුනා, භික්ෂුව එම මහත්මයාට, තෙරුවන් සරණයි මහත්තයෝ කියලා කුටියට වැඩියා. තෙරුවන් සරණයි කියලා ආශිර්වාද කිරීමෙන් පමණක් ඒ මහත්මයා සතුටු නොවුන බව භික්ෂුවට තේරුම් ගියා. ඒත් භික්ෂුවට කරන්නට දෙයක් නැහැ. මේ දවස්වල භික්ෂුව හුඟාක්ම අඩුවෙන් කතා කරන්නේ. මොකද, කතා කිරීමේදී පිටවෙන, පිංවත් ඔබෙත්, මගේත් කෙළ හරිම මාරාන්තික නිසා.

කෙළවල මාරාන්තික වෛරසයක් ඉපදි කෙළ මාරාන්තික වුණේ, අහිංසක කෙළවල වරදක් නිසා නම් නොවේ. කෙළ යනු දෙතිස්කුණුපයක් බව ඇත්ත. එහෙත් මෙතනදි කෙළ අහිංසකයි. අහිංසක කෙළ මාරාන්තික විෂබීජයක් බවට පත්කිරීමේ සම්පූර්ණ වගකිවයුත්තා වන්නේ, පිංවත් ඔබේම කටෙන් පිටවූ මිච්ඡා වාචාවන්මයි. මේ මිච්ඡා වාචාවන්ට සියයට සියයක්ම දායකත්වය ලබාදුන්නේ, පිංවත් ඔබේ අතේ තිබෙන සෙලියුලර් දුරකථනයයි. සංස්කාරයෝ හරිම සාධාරණයි.

සෙලියුලර් දුරකථනය අතේ තබාගෙන පැය ගණන් මිච්ඡාවාචාවන් දොඩපු අපිට, අපේම මුඛයට මුඛවාඩම් දමාගෙන සිටීමට, සංස්කාරයන් විසින් විපාකයන් සමාජගතකොටදී තිබෙනවා. පිංවත් ඔබ, වර්තමානයේ දී ඔබේ වචන, සම්මාවාචාවන් බවට පත්කොට නොගත්තොත්, ඔබේ ඇස සහ කන සංවරකර නොගත්තොත් අනාගතයේ දී ඔබේ ඇසෙන් සහ කනෙන් පවා, විෂබීජ පිටවෙන මාරාන්තික රෝග ධර්මානුකූලව සමාජගතවෙන්න පුළුවන්.

භාවනා කරන පිංවතුන්ලාට කොරෝනා අකුසලය ලොකු භාග්‍යයක් ලබාදී තිබෙනවා. පිංවත් ඔබට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ, අනිත්‍යභාවය වඩන්න අවශ්‍ය නම්, මේ දවස්වල එරමිනිය ගොතාගෙනම භාවනා කරන්න අවශ්‍ය නැහැ. පිංවත් ඔබ වැස්සට ටිකක් තෙමිලා සෙම්ප්‍රතිශ්‍යාවක් හදාගෙන, කිඹුහුම් කිහිපයක් අරින්නකෝ, එසේත් නැතිනම් ඔබේ සොටු දියර ගලන පීනස් ගතිය ටිකක් වැඩිකොටගන්නකෝ, පිංවත් ඔබේ මිත්‍රයන්, ඔබේ ඥාතීන්, කොටින්ම ඔබ ආදරය කරන පංචඋපාදානස්කන්ධ ලෝකය ඔබව මගහැරලා යද්දි, ඔබට බිය වෙත්දි, පිංවත් ඔබට හොඳින්ම වැටහේවි, ඔබ ඔය ආදරය කරන ලෝකයේ ඔබ බලාපොරොත්තු වන ආදරය මොනතරම් නම් මිරිඟුවක්ද කියලා. භික්ෂුව ඔබට මෙහෙම සටහන් තබන්නේ, පිංවත් ඔබට පංචඋපාදානස්කන්ධ ලෝකය කෙරෙහි කලකිරීම, නොඇලීම ඇතිකොටගන්නමයි. අපේම අතීත අකුසල් සංස්කාරයන්ම වර්තමානයේ අපිටම ටොකු අනිනවා. සියලූ සංස්කාරයෝම අනිත්‍යබව අවබෝධ ඥානයෙන්ම අපට දේශනා කළ බුදුරජාණන් වහන්සේ, ආනන්ද ස්වාමීන්වහන්සේගේ විමසීමකට පිළිතුරු වශයෙන් දේශනා කරනවා, ආනන්ද, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන්පෑමෙන් පසුව, ඒ උතුම් බුද්ධ සිරුරට, සක්විති රජකෙනෙකුගේ ශ්‍රී දේහයට දක්වන ගෞරවයන් දක්වන්නය කියලා. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීගිය උතුම් ශ්‍රී දේහය පවා, එවන් වන්දනීය ගෞරවයන් ලබන්නේ, අතීත දසපාරමී කුසල් ශක්තිය නිසාමයි.

නමුත් වර්තමානයේ කොරෝනා රෝගයෙන් මියයන සමහරක් පිංවතුන්ලාගේ, මියගිය මළසිරුර පවා තම ඥාතීන් විසින් භාරනොගන්නේ ඒ මියයන පිංවතුන් අකුසල් කඳු නිසාමයි. තම මළසිරුර අනාථයෙක් වශයෙන්ම මහපොළොවේ මිහිදන් වෙනවා. වර්තමානයේ විපාකයට පැමිණෙන මේ අකුසල් වියරුව දැක, පිංවත් ඔබ දශකුසල් ධර්මයන් තුළම ශක්තිමත් වෙන්න. එවිට පිංවත් ඔබ සිතන පතන සම්පත්, ගරු බුහුමන් ඔබේ සෙවනැල්ල සේ ඔබ ළඟින්ම සිටීවි.