පටිච්චසමුප්පන්න චක්‍රයම අපේ ලෝකයයි

පින්වත් මහත්මයෙක් භික්ෂුවට කියනවා, ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම වෙනස් වෙලා ගියා. අතීත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් පටිච්චසමුප්පන්න සුළඟට ගසාගෙන ගිහිල්ලා. මගේම ආච්චී, සීයා, අම්මා, තාත්තා මැරුණාට පස්සේ කොහේ ඉපදුනාද කියන්න, මම දන්නේ නැහැ. තරුණ කාලයේ එකට සෙල්ලම් කරපු යාළුවෝ, හුඟදෙනෙක් මිය ගිහිල්ලා. ඒ අය පටිච්චසමුප්පන්නව නැවත සුගතියක ඉපදුනාද කියන කාරණය ඉදිරියේ, මටත් තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්. මනුෂ්‍ය ලෝකයේ ජීවත්වෙච්ච හුඟාක් පිංවතුන්, වර්තමානයේ ජීවත්වෙන්නේ තිරිසන් ලෝකවල, නැතිනම් පේ‍්‍රත ලෝකවල. දිව්‍ය, මනුෂ්‍ය, ජීවිත ලබපු අයත් ඇති, අතේ ඇඟිලි ගාණට. මේ හැමදෙයක්ම වෙනස්වෙලා ගියත් ස්වාමින් වහන්ස, මේ කාමයන්ට අත වනන සිත, තාමත් මට වෙනස් කරගන්න බැරිවුණානේ කියලා ඒ මහත්මයා පසුතැවිලි වෙනවා.

කාමයන්ට අතවනන සිත, අපි විරාගී සිතක් බවට පත්කොටගන්න නම්, රූපයේ වෙනස්වීම් අනුවණින් නොව නුවණින්ම දකින්න වෙනවා. තෘෂ්ණාවට කිරිපොවන ඵස්සයේ කිරි මව බවට පත්වෙන්නේ. විඤ්ඤාණයේ සෙවනැල්ල වැටුණු, අධ්‍යාත්මික සහ බාහිර රූපයමයි. පිංවත් ඔබ මියගිය අතීතයත්, ඉපදුන වර්තමානයත්, ඉපදීමට විළිලන අනාගතයත්, මම යැයි, මගේ යැයි දකින්න එපා. ඵස්සයේ කිරි මව ඇලීම් සහ ගැටීම් පියයුරු දෙකෙන්, තෘෂ්ණාවේ කිරි ඔබට පොවද්දි, එම තෘෂ්ණාවේ කිරි තවමත් ඔබට කිරි වමනය බවට පත්නොවන්නේ, අධ්‍යාත්මික සහ බාහිර රූපයන් කෙරෙහි ඇති විදර්ශනාවේ නොදැක්ම නිසාමයි. සමාධියේ නිසල දිය මත, සිත්සේ විකසිතවෙන විදර්ශනාවේ කැකුළු මල්, පිංවත් මනුෂ්‍ය ජීවිතවල, වර්තමානයේ නොපූදින්නේ, ඉන්ද්‍රිය සංවරභාවයට අවශ්‍ය, ශීලයේ ජලය සහ පොහොර අක්‍රමවත්ව ලැබෙන නිසාමයි.

පිංවත් ඔබේ සිත කවදාද සමාධියේ නිසල දියක් බවට පත්කොටගන්නේ, අප්‍රමාදී විය යුතු ධර්මයක් ඉදිරියේ අපි හුඟාක් ප්‍රමාදවෙලා. අනුවණින් විග්‍රහකොටගන්නා අපේ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයෝ, අවිද්‍යා අඳුරේ අතපත ගාන්නේ, තද නින්දෙන් අවදි වූ දරුවෙක් වගේමයි. හැබැයි ඉතිං, අපි සියල්ලෝම සුන්දර බෞද්ධයෝ. මේ නිමේෂයේදීත් දුකෙන් මිදීමට තෘෂ්ණාවම, සරණ පිහිටකොට ගන්නවා. අතීත සංසාරයේ අපිට වැරදුණ තැන් මහ පොළොවේ පස්කැට ගාණට තිබෙනවා. ඒත් මේ මොහොත, පිංවත් ඔබ වරද්ද ගන්න එපා. දුක සහ දුකට හේතුව වන තෘෂ්ණාව, පටලවා ගන්න එපා. දුකෙන් මිදීම උදෙසා පිංවතුන් සොයා යන මාර්ග කොතෙක් නම් තිබෙනවාද?

පසුගියදා පිංවතුන් පිරිසක් දුකෙන් මිදීම උදෙසා සල්ලි සොයන්න ගිහිල්ලා, ස්වාමීන් වහන්සේ නමක් තම ජීවිතයෙන් වන්දිගෙව්වා. දුකෙන් මිදීම උදෙසා සමාජය භාවිතා කරන, මෙවැනි මිච්ඡා මාර්ග කොතෙක් නම් තිබෙනවාද?

මිච්චා දිට්ඨි සහ මිච්චා සංකප්පයන්ගෙන් පෝෂණය වූ මිච්චා ආර්ය අෂ්ඨාංගික මාර්ගය, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය ගැන සිතන්නේ නැහැ. මරණින් පසු ලබන පටිච්චසමුප්පන්න උපත ගැන මෙලෝ සිහියක් නැහැ. හිංසාව, ව්‍යාපාදය, ලෝභ, ද්වේෂ, මෝහ, ධර්මයන්, ජීවිතාන්තය දක්වාම බදු අරගෙන අපි ජාති, ජරා, ව්‍යාධි, මරණ, පීර, පීරා සැප සොයනවා. පිංවත් ඔබ කරුණාකර, තෘෂ්ණාවට විවේකයක් ලබාදෙන්න. තෘෂ්ණාව විවේක ගනිද්දී, ආර්ය අෂ්ටාංගික මාර්ගය විවේකීව ඔබ තුළ වැඩේවි.

කුසල් සහ අකුසල් සංස්කාරයන්ට, පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ, සිත්සේ විපාක දෙන්න ඉඩකඩ විවර කරලා, කාලය වේගයෙන් ගෙවීයනවා. ඊළඟ නිමේෂය, ඔබෙත් මගෙත් මරණයේ නිමේෂය වෙන්න පුළුවන්. අපි අප්‍රමාදි නොවුණොත්, අපේ මරණය මිනීමැරුමක්ම වේවි. අපේම පටිච්චසමුප්පන්න සංස්කාර විසින් අපිව, පටිච්චසමුප්පන්නව මරා දමනවා. පටිච්චසමුප්පන්න සංස්කාර විසින්ම පෝෂණය කරන විඤ්ඤාණය නමැති වධකයා, අවිද්‍යා නිරෝධෝ සංස්කාර නිරෝධා, සංස්කාර නිරෝධෝ විඤ්ඤාණ නිරෝධා කියන ස්වභාවික මරණයකට, පිරිනිවීමකට ඔබව යොමු කරන්නේ නැහැ. අවම වශයෙන් පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් දෑස් පියාගන්න, විඤ්ඤාණය නමැති වධකයා ඔබට ඉඩ දෙන්නේ නැහැ. අවසාන චුති සිතට බැඳිලා, වධකයා “මගේ” කොට ගන්නවා. “මම” වධකයා කොට දකිනවා. සිතුවිලි දෙකක් අතරතුර, විඤ්ඤාණය නමැති වධකයා, තවත් පටිච්චසමුප්පන්න උපතකින් නැවත ඔබව වධයට පත් කරලා. සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය නමැති වධකයා, අපිව ජීවත් කරවමින්, අපිව මරා දමනවා. ආයෙ, ආයෙත් මේ පටිච්චසමුප්පන්න චක්‍රයම අපේම සුවච ලෝකය වෙනවා.

භික්ෂුවට, මරණය සිහිපත්වෙද්දී, ඒ සිත භික්ෂුව චිත්තානුපස්සනාවෙන් දකිනවා. ඒ චිත්තානුපස්සනාවෙන් දැක්ක සිත ධම්මානුපස්සනාවෙන් පෝෂණය කරද්දි, තෘෂ්ණාවට සිද්ධවෙන්නේ සියදිවි නසාගැනීම පමණක්මයි. එවිට භික්ෂුවගේ සිත පිහිටන්නේ විදර්ශනාත්මක උපේක්ෂාව තුළ. සියලූ ධර්මතාවයෝ වෙනස්වෙලා යනවා. උපත, මරණය, දැනුම, අවබෝධය, සෙනෙහස, ආදරය විතරක් නොවේ, මේ සියල්ල විනිවිද දකින, සතරසතිපට්ඨාන ධර්මතාවයෝද අනිත්‍ය වෙලා යනවා. සාරිපුත්ත මහෝත්තමයන් වහන්සේ, පුහුණු කළ, අවබෝධ කළ, සතර සතිපට්ඨාන ධර්මයෝ උන්වහන්සේ පිරිනිවීයන මොහොතේ අනිත්‍ය වී ගියා.

නිත්‍ය යැයි, සුභ යැයි, සැප යැයි අල්ලාගන්න දෙයක් නැති, අල්ලන්න තැනක් නැති මේ අනිත්‍ය වූ පංචඋපාදානස්කන්ධ ලෝකයේ, පිංවත් ඔබ මේ කියවන ධර්මයවත් නිත්‍ය යැයි අල්ලාගන්න එපා. මේ උත්තරීතර ධර්මය, අනාගතයේදී විකෘති කරනවා, අතුරුදන් වෙලා යනවා, මිච්චා අධර්මයන් සමාජගත වෙනවා. මේ උතුම් ශ්‍රී සද්ධර්මය සිහිපත් කොටගෙන, ඊළඟ සිතින් අනිත්‍යයි කියලා දකින්න. අනිත්‍යයි කියලා දැක්කාවූ සිතත් ධම්මානුපස්සනාවෙන්ම දකින්න. රූප, වේදනා, සංඥාවන් ඇසුරින් සකස්වෙන සියලූ සංස්කාරයෝම වෙනස්වෙලා යනවා. පිංවත් ඔබ අනාගත සිහින මාලිගා ඉදිකරන්නේ බොහෝම පරිස්සමින්. පිංවත් ඔබේ අසීමිත ආශාවන්, ඔබේ අතීත කුසල් සංස්කාරයන්ට ඔරොත්තු නොදෙන්න පුළුවන්. වර්තමානයේ බලාපොරොත්තු කඩා වැටීම් ගොඩාක් වැඩියි.

පිංවත් ඔබේ ජීවිතයට, විවේකීව ගලාබසින උපේක්ෂා මංපෙත ඔස්සේ ගලාගෙන යන්න ඉඩදෙන්න. අනවශ්‍ය ඇලීම් සහ ගැටීම්වලින්, ඔබේ ඵස්සය කොනිත්තන්න එපා. තෘෂ්ණාවේ නියපොතුවල අවිද්‍යාවේ විෂ හොඳින් තැවරිලයි තිබෙන්නේ. කාත් කවුරුවත් නැති, අතීත සංස්කාරයන්ගෙන් යැපෙන, අපේ ජීවිත, අපි මුළු ලෝකයම යැයි දකිනවා. ඇත්තටම කවුද අපිට ඉන්නේ, මෙය සටහන් තබන භික්ෂුව, පටිච්චසමුප්පන්න අතීත සංස්කාර පොදියක් කරතබාගත්ත අනාථයෙක්. අනිත්‍ය වූ සංස්කාර විසින් සිවුරක් පොරවලා, පැවිදි උපසම්පදාවන් කරලා, වටපිටාවේ කැමති සහ අකමැති දේවල් තබලා, මේක සංස්කාරයන්ගේ ඇස්බැන්දුමක්, ලෝකය හැටියට “මම” හැටියටම දකිනවා. පිංවත් ඔබ ඔබේ ජීවිතය අසුභවාදීව දකින්නට එපා. සුභවාදීව දකින්නත් එපා. පිංවත් ඔබේ ජීවිතය අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාරා පච්චයා විඤ්ඤාණ වශයෙන්, පටිච්චසමුප්පන්නව දකින්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකේ හට ගැනීම, පිංවත් ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න, සිතුවිල්ලෙන්, සිතුවිල්ල සක්කායදිට්ඨිය පැටව් ගසන, අන්ධ දැක්ම පිරිසිදු කොටගන්න.

අවිද්‍යා නිරෝධා, සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකේ නිරෝධය, පිංවත් ඔබ ඇත්ත ඇති සැටියෙන් දකින්න. සිතුවිල්ලෙන්, සිතුවිල්ල, පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවයම නිරවුල්ව දකින, නිවැරදි දැක්ම පිරිසිදුකොට ගන්න. අපි හැමෝම මහා බරක් ජීවිත තුළින් දරාගෙන සිටිනවා.

රැකියාව, ව්‍යාපාරය, දරුවෝ, රට, ජාතිය, ආගම, මම සහ මගේ යන සක්කායදිට්ඨිය උල්පත්වලින් ගලා එන, මමත්වයේ කසළ ජලය ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ජල ටැංකි දෝරෙ ගලා ගොස් ජාති, ජරා, ව්‍යාධි, මරණ, භව සාගරයම පෝෂණය කරනවා.

පිංවත් ඔබ, මේ සටහන කියවීම මොහොතකට නවත්තලා, අවිද්‍යා පච්චයා සංස්කාර යැයි නුවණින් මෙනෙහි කරන්නකෝ, චතුරාර්ය සත්‍යය ධර්මයන් නොදන්නා නිසාම, අපි කුසල් සහ අකුසල් රැස්කරනවා. අවිද්‍යාවත්, සංස්කාරත් තුළ සත්වයෙක් හෝ පුද්ගලයෙක් නැහැ. මමය මගේය කියලා ගන්න දෙයක් නැහැ. හේතුඵල ධර්මයක් පමණක්මයි එහි තිබෙන්නේ. අවිද්‍යා පච්චයා සංඛාරා යැයි මෙනෙහි කරද්දී හරිම නිදහස්, හරිම සැහැල්ලූවක් දැනෙනවා. මම කියන ලෝකයෙන් මොහොතක් මිදෙනවා. ඒ සිතුවිල්ල තුළ තෘෂ්ණාව තැවරිලා නැහැ,පිංවත් ඔබ මොහොතක් අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ යැයි මෙනෙහි කරන්න. එවිට ඔබට ඔබේ ජීවිතය හිස් දෙයක් බව වැටහී යනවා. ජීවිතය තාවකාලිකව නිවුනා වෙනවා. පිංවත් ඔබ මේ සෑම සිතුවිල්ලක්ම, ධම්මානුපස්සනාවෙන්ම පෝෂණය කළ යුතු වෙනවා. පිංවත් ඔබ මෙතැනදී ධම්මානුපස්සනාව අමතක කළොත්, අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධෝ කියන අර්ථය තුළින්, ඔබ ලබන ධර්මයේ ආශ්වාදය, නැවතත් ඔබට අවිද්‍යා පච්චයා සංස්කාර ධර්මතාවයම පෝෂණයකොට දෙනවා.

වසරකට වැඩි කාලයක් කොරෝනා උවදුරෙන් හෙම්බත්ව සිටින සමහරක් පිංවත් ජනතාව, නිරෝගීභාවය කෙරෙහි, ආයුෂ, වර්ණය, සැපය, බලය කෙරෙහි ලොකු තෘෂ්ණාවකින් කටයුතු කරන බවක් පෙනෙනවා. සීමාව ඉක්මවා කෙරෙන ඖෂධ පූජාවන් මහා සංඝරත්නයට පූජා කරනවා. සමහරක් අවස්ථාවල පිනේ ආශ්වාදය කෙරෙහි කෑදරකමක් පෙනෙන්නට තිබෙනවා. සත්තකින්ම පින ඔබට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබාදෙනවා. ඒ පින තුළ සැඟවී ඔබේ ජීවිත ගතවෙන සක්කායදිට්ඨිය ගැන ඔබ පරිස්සම්වෙන්න ඕනේ. පිනේ ආශ්වාදය ඉදිරියේ සක්කායදිට්ඨිය ශක්තිමත් වෙනවා වගේම, පින අනිත්‍ය වී සකස් වෙන ආදීනවයේදී ද සකස් වෙන්නේ සක්කායදිට්ඨියමයි.

“මම” මුල් කරගෙන, මගේ පවුල මුල්කරගෙන, මගේ පිරිස මුල් කරගෙන, මගේ සංස්කාර මුල්කරගෙන, තෘෂ්ණාවට දරදිය අදින, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ දැක්මේ දුර්වලභාවය හෙවත් දිට්ඨි විශුද්ධිය තාමත් අපේ පුරන්වෙලා. පටිච්චසමුප්පාද ධර්මයන් තුළ ලෝකය විසිරුවා දකින්න අපි අදක්ෂයි. පටිච්චසමුප්පාද ධර්මයන් තුළ ලෝකය විසිරුවා දකිත්දී ලෝකය එකම පටිච්චසමුප්පන්න පවුලක් බවට වෙනවා.

මේ ලිපිය සටහන් තබන මොහොතේ, භික්ෂුව වැඩසිටින කුටිය අවට කැලෑ රොදේ ගස්වල දඟලන වඳුරු රංචුව, පටිච්චසමුප්පන්නව මගේම අම්මලා, තාත්තාලා, පවුලේ ඥාතීන්මයි. ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම්, මහත්මයා හෝ මහත්මිය, පටිච්චසමුප්පන්න මගේම ඥාතීන්මයි. ඔවුන් සියල්ල අතහැර කෙසේ නම් “මම”, “මම” ගැන එසේත් නැතිනම් “මගේ” පවුල ගැන කෙසේ නම් සිතන්නද. ඒ වගේමයි, මේ පටිච්චසමුප්පන්න ඥාතිත්වය මගේ යැයි අල්ලාගෙන, කෙසේ නම් ලෝකයෙන් ගැලවී යන්නද. මේ මොහොතේ භික්ෂුව අපවත් වෙලා, ඊළඟ නිමේෂයේදී පටිච්ච සමුප්පන්නව තවත් මව් කුසක ඉපදුනහොත්, ඒ අනාගත ඥාතිත්වය ගැන කෙසේ නම් භික්ෂුව නොසිතා සිටින්නද.

භවාත්‍රය තුළ ජීවත්වන කාම ලෝකයේ, රූපි ලෝකයේ, අරූපි ලෝකයේ, සෑම සත්වයෙක්ම පටිච්චසමුප්පන්නව එකම ඥාති පවුලක්. ඒ තෘෂ්ණාවෙන් උපන් පටිච්චසමුප්පන්න ඥාතිත්වය, මෙය සටහන් තබන භික්ෂුව, මොහොතක් දෑස් පියාගෙන, අවිද්‍යාව හේතුවෙන් සකස් වූ, සෑම සංස්කාරයක්ම, අනිත්‍යයි කියලා නුවණින් දකිනකොට, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය ආහාර නොමැතිවී සාගින්නෙන්ම මිය යනවා.

පිංවත් ඔබ මම මුල්කරගෙන, මගේ පවුල මුල්කරගෙන, මගේම කණ්ඩායම මුල්කරගෙන පිංකම් සිදුකරලා, පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සක්කායදිට්ඨියේ අයිසිං කේක් කවන්න එපා යැයි කියලා, ගෞරවයෙන් සිහිපත් කරනවා.