2020 ධර්මානුකූලව අවාසනාවේ වසරක් ද?

2020 වසර, පින්වත් ඔබගේ බිඳීගිය ගොඩාක් බලාපොරොත්තු සමගින්, කාගේවත් සුහද සමුගැනීමකින් තොරවම, අතීත මතක සටහන් ගොන්නට එකතු වුණා. ගෙවීගිය වසර දෙස ආපසු හැරී බලද්දී ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව යන අකුසලයේ ප්‍රතිබිම්බය තවමත් අපි දෙස නොසැලී බලා සිටිනවා. පංචඋපාදානස්කන්ධ ලෝකයේ වෙනස්වෙන සංස්කාරයන්ට, අස්ථිර වූ සංස්කාරයන්ට, ආශ්වාද රහිත වූ සංස්කාරයන්ට සිත්සේ හැසිරෙන්නට, සිත්සේ විපාකදෙන්නට 2020 වසර සිත්සේ ඉඩදෙමින්, සංස්කාරයන්ගේ ඇස්බැන්දුම ගැන, සුන්දර ධර්මදේශනාවන් අපි හැමෝටම සිහිපත්කොට දුන්නා.

ඇත්තටම 2020 වසර ධර්මානුකූලව අවාසනාවේ වසරක්ද? 2020 වසර අවාසනාවේ වසරක් නම් ඒ අවාසනාවට වගකිව යුත්තේ 2020 වසරද, එසේත් නැතිනම් සුන්දර 2020 වසර අවාසනාවන්ත වසරක් බවට පත්කළ පින්වත් ලෝකවාසී ජනතාවගේ අකුසල් සංස්කාරයන්ද. පින්වත් ඔබ අහිංසක 2020 වසරට චෝදනා කරන්න, වරද පටවන්න එපා. 2020 වසර අවංකවම අහිංසකයි. 2020 වසර කෙරෙහි ලෝකවාසී ජනතාව ඇතිකොටගත් අනාගත පංචඋපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන්ගේ බර, ලෝකවාසී ජනතාව තුළ තිබූ පටිච්චසමුප්පන්න කුසල් සංස්කාරයන්ට ඔරොත්තු දුන්නේ නැහැ. අපේ ජීවිත අකුසල් මූලයන්ගෙන් ඇතෙක් බරට පුරවා ගනිද්දී, අවිද්‍යාවේ උල්පත්වලින් උනන තෘෂ්ණාවේ ගිනි වතුරට අපි සතු සීමිත කුසල් සංස්කාරයන් වාෂ්ප වෙලායනවා. ඇත්ත මොනතරම් තිත්ත වුණත්, ඒ තිත්ත තුළ සැඟවුණ, උතුම් ධර්මාවබෝධය මෝදුකොටදෙන අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ධර්මයන් මේ නිමේෂයේදීත් භික්ෂුව දකින්නේ 2020 වසරට කෘතවේදී වෙමින්මයි.

සැබැවින්ම 2020 වසර සුන්දර දේවදූතයෙක්මයි. පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ යාවජීව සාමාජිකත්වය ලැබූ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ගැන පිංවත් ඔබට සක්සුදක්සේ ඔප්පුකොට පෙන්වූ සුන්දර දේවදූතයෙක්මයි.

2020 වසර පිංවත් ඔබ තුළ සංසාර බිය, සංසාර දුක, දෑස් පනාපිටම පෙන්වා දුන් සුන්දර දේවදූතයෙක්මයි. පිංවත් ඔබම, ඔබගේ හිස මත මහත් උජාරුවෙන් තබාගෙන සිටින නිත්‍ය, සුභ, සැප, ආත්මීය යැයි දකින පංචඋපාදානස්කන්ධ කිරුළ කෙරෙහි අසීමිත තෘෂ්ණාවට එක සිතුවිල්ලකින් හෝ අභියෝග කළ දේවදූතයෙක්මයි.

2020 වසරේ පංචඋපාදානස්කන්ධ ලෝකයම තම ආධිපත්‍යයට ගත්, ඒ සුන්දර දේවදූතයා, පිංවත් ඔබ යක්ෂයෙක් හැටියට දකින්න එපා. පිංවත් ඔබ ගෙවීගිය 2020 වසර යක්ෂයෙක් හැටියට දැක්කොත්, පිංවත් ඔබට කවදාකවත් දේවධර්මයන් ජීවිතයට එකතුකොටගන්න ලැබෙන්නේ නැහැ. කොරෝනා අකුසලයට හේතු වූ ලෝභ, ද්වේෂ, මෝහ යක්ෂ ධර්මයන්ම අපේ ජීවිතවලට එකතුවේවි. අපේ ජීවිත කාලයේ අපව පසුකොට ගිය සුන්දරම දේවදූතයා 2020 වසරයි කියලා භික්ෂුව සටහන් තබනවා. භික්ෂුව පිංවත් ඔබට මේ සටහන් තබන්නේ, ලෝකය හදන්නවත්, රට හදන්නවත් නොවේ, අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළවෙලත් හදන්න නොහැකි වූ පංචඋපාදානස්කන්ධ ලෝකය, අපි කෙසේ නම් හදන්නද. භික්ෂුව මේ සටහන් තබන්නේ, තනි, තනිව ඔබගේ පංචඋපාදානස්කන්ධ ලෝකය ධර්මානුකූලව හදාගැනීමට පමණක්මයි.

පිංවත් ඔබ, ඔබගේ ඵස්සය අසලින්, තෘෂ්ණාවෙන් තිරිහන්වී භවාත්‍රය දෙසට ගලා බසින ඔබගේ ලෝකය දෙස බලන්න. ඒ ලෝකය තුළ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ නමැති සැප, දුක් සහ උපේක්ෂා ආයුධවලින් සන්නද්ධ බලඇණි පහක්ම තිබෙනවා. අවිද්‍යාව නමැති සේනාධි නායකයා, මේ බලඇණි පහම මෙහෙයවන්නේ, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, දැක්ම අපේ ලෝකයෙන් පසුබැස්ස වීම උදෙසාමය. ගෙවීගිය 2020 වසර කෙරෙහි, පිංවත් ඔබ ගැටෙන සිතක් ඇතිකොට ගතහොත්, ඔබ පෝෂණය කරන්නේ අවිද්‍යාවේ සේනාධි නායකයාමයි.

පිංවත් ඔබ ගෙවීගිය 2020 වසර සැප, දුක් සහ උපේක්ෂාවන්ගෙන් බැහැරකොට, 2020 වසර මාරයා වශයෙන්ම දකින්න. ජරා, ව්‍යාධි, මරණ යම් තැනකද එතැන මාරයාගේ නිජබිම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මාරයා, මාරයා වශයෙන් නොදැක්කොත්, ඔබේ ලෝකය තුළ පායන සංස්කාර මාරයාගේ අකුසල් කිරණවලින් ඔබේ ලෞකික සැපයන් පුළුස්සා දමන්න පුළුවන්. මේ මහා දහවල් පරිසරය ගිනියම් කරන හිරු එළිය නම් සවසට අවරට යාවි. නැවතත් රාත්‍රියට පායන සෞම්‍ය සඳකිරණින් පරිසරයම සිසිල් වේවි. ඒත් අපි තුළ සකස්වෙන අකුසල් මූලයන් නම් උදේට සැරවෙලා, රාත්‍රියට සිසිල් වෙන්නේ නැහැ. සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය පතුලේ රොන්මඩ හැටියට, දියසෙවල හැටියට තැන්පත් වෙනවා.

පටිච්චසමුප්පන්න විඤ්ඤාණය තුළ පෝෂණය වෙන රොන්මඩ, නැවත නැවත පංචඋපාදානස්කන්ධ ධර්මයන්මයි පෝෂණය කරන්නේ. නැවත නැවතත් මාරයාවමයි අපි පෝෂණය කරන්නේ. මාරයාගේ පරම මිතුරා බවට අභිෂේක ලබා තිබෙන්නේ, මමත්වයේ දැඩිභාවය හෙවත් සක්කායදිට්ඨියයි. මමත්වයේ දැඩිභාවය සමග තවත් නිවුන් සහෝදරයින් දෙදෙනෙක් පෝෂණය වෙනවා. ඒ නිවුන් සහෝදරයින් දෙදෙනා තමයි, තෙරුවන් කෙරෙහි විචිකිච්ඡාව සහ අන්‍ය ශීලවෘතයන් කෙරෙහි උපාදානය. මේ තුන්දෙනා එක ඇසුරට වැටුණහම, සෑම රූපයක්ම, සෑම වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයක්ම තමන් කැමති ආකාරයට පැවතිය යුතුයි කියලාමයි විශ්වාස කරන්නේ. පංචඋපාදානස්කන්ධ ධර්මයන් තුළ ,මම,මයි දකින්නේ, නිරතුරුවම තමාගේ ඵස්සය නමැති මුළුතැන්ගෙදර උයාපිහා ගන්න ඵස්ස ආහාර, මනෝසංචේතනා ආහාර, විඤ්ඤාණ ආහාර සිත්සේ තළුමරමින් බුදිමින් පෝෂණය වෙන මෙම පාපි ධර්මයන් ලෝභ, ද්වේෂ, මෝහ රසකාරකයන්ට දක්වන්නේ පුදුමාකාර ගිජුකමක්.

මේ දහවල පරිසරයේ හිරු එළිය මොනතරම් සැරට පායා තිබුණත්, භික්ෂුවගේ ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් රත්වෙලා නැහැ. ජීවිතය චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළ විසුරුවා දකිද්දි, ධර්මයේ උපේක්ෂාව, ඵස්සය ඉදිරියේ නොසෙල්වී තිබෙනවා. හේතුඵල ධර්මයන්ට අදාළව ජීවිතය දකින, ධර්මයේ උපේක්ෂාව ජීවිතගත වෙද්දි, වේදනාවෝ කාත් කවුරුවත් නැති, අනාථයින් බවටමයි පත්වෙන්නේ. අනාථ වූ වේදනාවන් කෙසේ නම් සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් සනාථ කොට දෙන්නද.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සැඩපහර සහිත ගංගා නම් ගෙඟ්, ඉවුරට පැමිණෙන ශක්තිමත් පුරුෂයෙක් තම අත් පා උපයෝගීකොටගෙන පිහිනා, ගංගා නම් ගෙඟන් එගොඩට යනවා වගේ, බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨියේ නිරෝධයට දහම් දේශනා කරනකොට, එම ධර්මය කෙරෙහි සිත බැසගනීද, සිත පිහිටයිද, සිත පහදීද සක්කාය දිට්ඨියෙන් සිත මිදෙනවාය කියලා.

ධර්මානුකූලව ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක තම අසල්වැසියා බවට පත්කොටගෙන ජීවත් වූ, 2020 වසරේදීත් අපිට සක්කායදිට්ඨියේ කුණු හැව, අපේ ජීවිත තුළින් ගලවා දැමීමට අපට නොහැකි වූයේ, උතුම් පංචඋපාදානස්කන්ධ ධර්මයන් ශ්‍රවණය කළත් එම ධර්මයන් කෙරෙහි සිත නොබැසගත් නිසාමය, සිත නොපිහිටි නිසාමය, සිත නොපැහැදුන නිසාමය. මේ සියල්ල සෘණාත්මකව සිදු වූයේ අපි ශ්‍රවණය කරන ධර්මය, මමත්වයේ දැඩිභාවයෙන් පෝෂණය කරන නිසාද යන්න, ලැබුවා වූ නව වසරේදී නැවත නැවතත් සිතාබැලිය යුතුව ඇත.

ලැබුවා වූ 2021 වසරේදී පිංවත් ඔබ උතුම් සද්ධර්මයක් ශ්‍රවණය කරනකොට, කියවනකොට, දේශනා කරනකොට එම ධර්මය නුවණින් මෙනෙහිකිරීම තුළින් අපි සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුරයි මතුකොටගත යුත්තේ. මේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ස්වභාවයමයි මතුකොට දැකිය යුත්තේ.

ගෞරවණීය පිංවත, මේ ලැබුවා වූ 2021 වසරේ දෙවැනි සතියේදී, දිවයින ඉරිදා සංග්‍රහයේ පළවෙන මේ සද්ධර්මයේ සටහන කියවලා, ඔබ ජීවිතයට එකතුකොටගන්නේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි තෙරුවන් කෙරෙහි ආශ්වාදයද, එසේත් නැතිනම් මෙය සටහන් තබන ස්වාමීන් වහන්සේ කෙරෙහි ආශ්වාදයද, එසේත් නැතිනම් තවත් පත්තර පිටුවක් කියවා ලබන ආශ්වාදයද. ඉහත සෑම ධර්මතාවයක්ම සක්කායදිට්ඨියේ ඥාති වර්ගයාමයි. පිංවත් ගෞරවණීය ඔබට, භික්ෂුව මේ සටහන් තබන්නේ, ඉහත සංස්කාරයන් සියල්ලේම අනිත්‍යභාවය දකිමින්මයි.

බුදුරජාණන් වහන්සේ නමැති උත්තරීතර සංස්කාරයන් අනිත්‍යවී ගියා නම්, පිරිනිවී ගියා නම්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක මහා දශපාරමි සාගරයක් අවුරුදු අසූවේදී අනිත්‍යවී ගියා නම්, භික්ෂුව මේ සටහන තුළින් දකින්නේ මරණානුස්සතියට අදාළ කමටහනක් පමණක්මයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් සතරසතිපට්ඨාන ධර්මයන්ට මුහු කරලා ලෝකය දකිද්දී, එම ජීවිතය හරිම නිදහස්. ඇලීම් සහ ගැටීම් නිදිපෙති අහුරක් බීලා වගේ මරනින්දට වැටිලා. අපි ලෝකය ගොඩනගන්නෙත් නැහැ. ලෝකය විනාශ කරන්නෙත් නැහැ. ලෝකය විදර්ශනාමය උපේක්ෂාවෙන් ලෝකය ලෙසම, දුකම වශයෙන් දකිනවා.

ලෝකය අනිත්‍ය, දුඛ්‍ය, අනාත්ම ලෝක ධර්මයක් ලෙසම දකින පිංවතා, උතුම් තෙරුවන් නිසාවත් සංස්කාරයන් රැස්කරන්නේ නැහැ. උතුම් තෙරුවන් ලෝකය හැදීමට, ලෝකය නිවැරදි කිරීමට, ලෝකයෙන් පළිගැනීමට උපයෝගී කොටගන්නේ නැහැ. උතුම් තෙරුවන් සරණ උපයෝගී කොටගන්නේ ජරා, ව්‍යාධි, මරණ, දුකෙන් මිදීම උදෙසා පමණක්මයි.

අපි කොහොමද එදිනෙදා ජීවිතයේදී උතුම් තෙරුවන්ට අගෞරව නොකර ජීවත් වෙන්නේ, අපි කොහොමද තෙරුවන් සමඟ ජීවත් වෙන්නේ, අපි කොහොමද උතුම් තෙරුවන් උදෙසා ජීවත් වෙන්නේ. පිංවත් ඔබ ලෝභ සිතේ ආශ්වාදයට යටවෙනවා නම්, ද්වේශ සිතේ, මෝහ සිතේ ආශ්වාදයට යටවෙනවා නම්, පිංවත් ඔබ උතුම් තෙරුවන්ගෙන් ඈත්වෙලයි ජීවත් වෙන්නේ.

ගෞරවණීය තරුණ ස්වාමීන් වහන්සේනමක් භික්ෂුවගෙන් විමසුවා, ලැබුවාවූ 2021 නව වසරේදි කුමක්ද අපි කළයුත්තේ කියලා. අපිට කරන්න නම් ගොඩාක් දේවල් තිබෙනවා. ආදාහනය කරනවාද? භූමදානය කරනවාද? වෙච්ච පොරොන්දු ඉටුකරනවාද? වෙච්ච පොරොන්දු කඩකරනවද? කියලා සොයා බලනවාද? මේ සියලූ රාජකාරි පසෙකින් තිබියදී, භික්ෂුව එම ස්වාමීන් වහන්සේට මතක් කළේ, ස්වාමීන් වහන්ස, මේ ලැබුවා වූ 2021 නව වසරේදී මම ඇයි පැවිදි වූයේ කියලා සිතන්න කියලා.

උතුම් පැවිදි ජීවිත ගත කරන අපි, සියල්ල සිතීම පසෙක තබලා, මොහොතක් සිතුවොත් ඇයි මම, බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන්, උතුම් පැවිදි දිවියට පත්වුණේ කියලා. 2021 වසරේ දී පැවිදි අපි කළ යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නයට, තමා තුළින්ම නිවැරදි පිළිතුර ලබාගත හැකිවෙනවා.

2020 වසරේදී ඔබ අත්විඳි, සියලූ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයෝ වෙනස්වෙලා ගියා. අනිත්‍යවෙලා ගියා, අස්ථිරවෙලා ගියා, ආශ්වාද රහිත භාවයටම පත්වෙලා ගියා. පංචඋපාදානස්කන්ධ ලෝකය මුලාවක්, ඇස්බැන්දුමක්. එහි තැවරෙන්න එපා. ඉන් නිදහස් වෙන්න. මේ උතුම් විදර්ශනාමය ධර්මය සත්පුරුෂභාවයෙන් ලෝකයාට එළිදක්වන ගෞරවණීය දිවයින ඉරිදා සංග්‍රහයට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ ලැබේවා! ලැබුවා වූ 2021 නව වසර, මේ උතුම් ධර්මදානමය පිංකම්වල ශක්තියෙන්, උතුම් සද්ධර්මයේ අර්ථයන් වැඩෙන වසරක්ම වේවා!