දෘෂ්ඨි විශුද්ධිය ඔබට සිහිනයක් ද?

කාලය ගෙවීගෙන යනවා, අපේ ජීවිතවලට අතීත, වර්තමාන, අනාගත යන තුන්කාලයම අනිත්‍යබව මොනවට පසක්කොටදීලා. ඇසළ පුරපසළොස්වක පොහොය දවසේ, අටමහා කුසල් ධර්මයන්ට අදාළව බලාපොරොත්තු ගොන්නක් හිස තබාගෙන, ගෞරවනීය මහාසංඝරත්නයට වස් ආරාධනාවන් සිදුකළ පිංවතුන්ලා, සියලූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, මෙය යැයි දකිමින්, නිරෝධායන නීතිරීති වලට යටත්ව සිදුකළ කඨින වස්ත‍්‍ර පූජා පින්කම් අවසන් කරලා. සුන්දර චීවර මාසය අවසන් කලා.

සුන්දර චීවර මාසය අපෙන් ඈත්වෙලා ගියේ, අමතක කළ නොහැකි ගොඩාක් පාඩම් අපිට කියලදීලා. පිනෙන් පිරුණු සුන්දර කඨින පිංකමකට පුළුවන් නම්, එම පිංකම මුල්කොටගත් සංස්කාරයන්ට පුළුවන් නම්, කල්ප ගණනාවක දිව්‍ය සැපයන් අපට ලබාදෙන්න, ඒ සුන්දර කඨින වස්ත්‍රයම, චීවර ප්‍රත්‍යවෙක්ෂාවෙන් තොරව අපි පරිහරණය කළොත්, කල්ප ගණනාවක්ම දුක් විඳීමට අවශ්‍ය අකුසල්ද විවෘතවම අපේ ජීවිත ඉදිරියේ තිබෙනවා. මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් දෑස් පියාගෙන සිතනවා, මම මේ උතුම් චීවරය පරිහරණය කරන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුකට හේතුවන තෘෂ්ණාවෙන් මිදීම උදෙසා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම සඳහා පමණක්මය කියලා.

මෙහෙම සිතෙනකොට භික්ෂුවගේ භික්ෂු ජීවිතයට කිසිම තනිකමක් දැනෙන්නේ නැහැ. එවිට භික්ෂුවගේ ඵස්සය පිරිවරාගෙන යාළුවෝ ගොඩාක් එකතුවෙනවා. මේ යාළුවෝ හරිම සත්පුරුෂ යාළුවෝ, ඇසුරට හරිම ප්‍රියයි. කවදාකවත්ම අපිව අවදානමක් දෙසට අරගෙන යන්නේ නැහැ. පිංවත් ඔබේ ඵස්සය පිරිවරාගෙන ඔය සත්පුරුෂ යාළුවෝ ටික ඉන්නවද කියලා නුවණින් බලන්න. මේ යාළුවෝ පිරිවර වෙන කවුරුවත් නොවේ. විදර්ශනාත්මක සප්ත බොජ්ජංගයන්.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අපිට උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය පනවන්නේ, මේ සත්පුරුෂ යාළුවන්ගේ ඇසුර ලබාදීමටමයි. සති, ධම්මවිජය, වීර්යය බොජ්ජංගයන් තුළ හිඳිමින් එම ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකිනවා. ප්‍රීතිය, ඵස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව තුළ හිඳිමින් එම ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකිනවා. එවිට ජීවිතයට ධර්මයෝ ධර්මයන්ම වඩවා දෙනවා. ධර්මයෝ, ධර්මයන්ම වඩවා දෙත්දී, ආයෙ, ආයෙත් වැඩෙන්නේ ධර්මයක්මයි. මෙතෙක් භවගමනේ නැවතීමක්, අවසානයක්, නිමාවක්, නොදැක්ක අපේ ජීවිත, විදර්ශනාමය සප්තබොජ්ජංගයන්ගෙන් පිරීයත්දී, ලෝකයේ මුල, ලෝකයේ මැද, ලෝකයේ අග අපිට පෙනෙනවා.

ඒ පෙනෙන ලෝකය පංචනීවරණයන්ට නම් හරිම ගැඹුරුයි, හරිම සංකීර්ණයි. බුදුරජාණන් වහන්සේ සරණගිය සැබෑම ශ්‍රාවකයා, බුදුරජාණන් වහන්සේමයි සියල්ල දන්නේ, මම කිසිත් නොදනිමියි කියන තැන ඉඳන්, තෙරුවන් කෙරෙහි ශ්‍රාද්ධාවෙන්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නිවැරදිව පුහුණු කරමින්ම, එම ගැඹුරු ලෝකය නොගැඹුරුභාවයට පත්කොට ගන්නවා. එවිට එම ශ්‍රාවකයා දක්ෂයි, ලෝකයේ මුලත්, ලෝකයේ මැදත්, ලෝකයේ අගත් පටිච්චසමුප්පාදය කියන එකම ධර්මතාවය තුළින් දකින්න.

අවිද්‍යාව කියන මුලත්, ඵස්සය කියන මැදත්, උපාදානය කියන අගත්, ජීවිතය තුළින් දකිද්දී, හංසයා දියෙන් කිරි වෙන්කොට ගන්නවා වගේ, ඔබ දක්ෂයි, සම්මුති ලෝකයෙන් ඔබේ පංචඋපාදානස්කන්ධ ලෝකය වෙන්කොට දකින්න. පිංවත් ඔබේ ඵස්සය ග්‍රහණයට ගෙන සිටින අවිද්‍යාවේ මුල, ඔබ නුවණින් තේරුම් ගත්තා නම්, ඔබට උපාදානයේ අග පිළිබඳව කලබල වෙන්න දෙයක් නැහැ.

පිංවත් මහත්මයෙක්, භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස, ලෝකයේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද කියලා. බැලූ බැල්මට ප්‍රශ්නයේ සංකීර්ණ වටපිටාවක් පෙනෙන, නමුත්, ධර්මයේ ස්වක්ඛාත ගුණය නිසාම එය සරල ප්‍රශ්නයක්. උතුම් සප්තබොජ්ජංග ධර්මයන්ගේ ශක්තියෙන්, පිංවත් ඔබ ධර්මයේ යම් සරලභාවයක් මතුකොටගතහොත්, එහි පූර්ණ ගරුත්වය ඔබ ලබාදිය යුත්තේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේටමයි.

පිංවත් ඔබ ලබන ධර්මයේ සරලභාවයත්, ඔබ, ඔබගේ යැයි දකිනවා නම්, ඒ සරලභාවයන් තුළ, ඔබ සිටිනවා යැයි දකිනවා නම්, ඒ සරලභාවයන් ඔබ මගේ කොටගන්නවා නම්, එතැනදී ඔබ තුළ පෝෂණය වෙන්නේ, පංචනීවරණ ධර්මයන්ට අයත් කාමච්ඡන්දයක්මයි. මෙතැනදී ඔබ තුළ වැඞී තිබෙන්නේ ධර්මයේ මිච්චා සරලභාවයක්. මේ අනතුරට ඔබව යොමු කරන්නේ, සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලභාවයන්මයි.

කල්‍යාණමිත්‍ර ආශ්‍රය ඔස්සේ තමන් ශ්‍රවණය කරන සද්ධර්මය, අනුවණින් මෙනෙහි කරන පිංවතා, බුදුරජාණන් වහන්සේ දේශනාකළ මාර්ගයට අදාළව නොවේ, ජීවිතය පුහුණුකරන්නේ. ඔහු සැබෑ ධර්ම මාර්ගය දෙවැනි තැනට දමා ”මම.. මුල්තැනට ගන්නවා. තමන් තුළ පෝෂණය වෙන තෙරුවන් කෙරෙහි, මමත්වයේ දැඩිභාවය, ආශ්වාදයෙන් ජීවිතයට මුහුකොටගන්නා ඔහු, ලෝකය ඉදිරියේ සැබෑ බෞද්ධයෙක් ලෙස හැසිරුනත්, ධර්මය ඉදිරියේ, පංචඋපාදානස්කන්ධ ලෝකය ඉදිරියේ නම්, තෘෂ්ණාවේ උල්පතක්ම වෙනවා. සැබෑ ආර්ය අෂ්ඨාංගික මාර්ගය යම් තැනකද, එතැන දුකක්, දුකට එකම හේතුව වන තෘෂ්ණාවත් පසුබසින්න ඕනේ. තෘෂ්ණාව ජීවිතයෙන් පසුබැස්ස තැන, අලෝභ, අද්වේෂ, අමෝහ ධර්මයන්ට ජීවිතය තුළින් ලොකු වටිනාකමක් ලැබෙනවා.

පිංවත් ඔබම කරුණාවෙන් සිතල බලන්නකෝ, ඔබ පූජාකරන දානය තුළ, ඔබ රකින ශීලය තුළ, ඔබ වඩන භාවනාව තුළ, ඔබ හදපු කුටිය තුළ, මම යැයි දකිනවා නේද, මගේ යැයි දකිනවා නේද, ඒ රැස්කොටගත් සංස්කාරයන් නිත්‍ය, සැප, සුභ, ආත්මීය වශයෙන් දකිනවා නේද. එම සංස්කාරයන් තුළ මම දකිමින්, ආත්ම දෘෂ්ඨිය පෝෂණය කොටගන්නවා නේද. මේ සියල්ල තුළ වැඩෙන්නේ පංචනීවරණ ධර්මයන්ට අයත් කාමච්ඡන්දයන්ම නේද. අකුසලයට අයත් ලෝභ, ද්වේෂ, මෝහයන්ම නේද.

තමන් ආරක්ෂා කොටගන්න උතුම් ප්‍රාතිමෝක්ෂ ශීලය, මම යැයි දකිමින්, මගේ යැයි දකිමින්, එම ශීලය තුළ මම සිටිනවා යැයි ශීලය ආත්ම දෘෂ්ඨියේම පෝෂණය උදෙසා ප්‍රයෝජනයට ගනිමින්, තම ශීලය හුවාදක්වමින්, අන්‍යයන්ගේ ශීලය අඩුතක්සේරුවටම ලක්කරන පිංවත් ස්වාමීන් වහන්සේ නමකට, භික්ෂුව පසුගිය දවසක අවවාදයන් සිදුකළා. ශීලයේ නාමයෙන් අකුසල් මූලයන් වඩන්න එපාය කියලා.

පිංවත් ඔබ ශීලය උපයෝගීකොටගත යුත්තේ, තම ආත්ම දෘෂ්ඨියේ වර්ධනය උදෙසා නොවේ, සුන්දර ශීල විශුද්ධිය යොමුවිය යුත්තේ චිත්ත විශුද්ධිය උදෙසාමයි. පිංවත් ඔබ මාර්ගය වරදවා ගතහොත්, දෘෂ්ඨි විශුද්ධිය ඔබට සිහිනයක්ම වේවි.

පිංවත් ඔබ, සංස්කාරයන් තුළ ”මම.. දකින්න එපා. සංස්කාර ”මගේ.. යැයි නිත්‍ය සංඥාවෙන් දකින්න එපා. නිරතුරුවම සංස්කාර චතුරාර්ය සත්‍යය තුළ විසුරුවා දකින්න. සංස්කාර කෙරෙහි තෘෂ්ණාව වැඩුනොත්, ඒ සංස්කාර අයිති ජරා, ව්‍යාධි, මරණ, දුකටමයි. සංස්කාර ඔබේ මිතුරා සේම, සංස්කාර ඔබේම සතුරා වීමටත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සම්මා දිට්ඨි සහ සම්මා සංකප්ප යන ලෞකික ප්‍රඥාවට අදාළ මාර්ග අංග දෙක නිවැරදිව ජීවිතයට එකතුකොටගත් පිංවතා තුළ වැඩෙන්නේ චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි නිවැරදි සතිය සිහියයි. මේ උතුම් සතියමයි උතුම් සම්මා සමාධිමත් සිතක් ඔස්සේ, ඇලීම් සහ ගැටීම් වලින් තොර සුන්දර උපේක්ෂාවට ඔබව යොමුකරන්නේ. ලෞකික ප්‍රාඥාව දුර්වල බෞද්ධ පිංවතාගේ බාහිරට පෙනෙන උපේක්ෂාව, වීදුරු බඩුවක් වගේ. තෘෂ්ණාවේ ජලයෙන් හැදුන ඇලීම් සහ ගැටීම් දියසෙවල මතින් ඔබව ලිස්සා ගියොත්, ඔබේ උපේක්ෂාව කුඩුවෙලා යනවා.

තමන්ගේ උපේක්ෂාව කැඩීබිඳී ගියත්, එම පිංවතා දක්ෂයි, තමන් තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් තමා තුළම සඟවා තබාගන්න. අපි තුළ සකස්වෙන ඇලීම් සහ ගැටීම් අපි සඟවා තබාගැනීමට උත්සාහ කළත් අපේම ඵස්සය හේතුවෙන් සකස්වෙන පංචනීවරණ ධර්මයන් පුංචි හෝ තැනකින්, අපේ ඇලීම් හෝ ගැටීම් මතුකොට පෙන්වනවා. ඵස්සය අවිද්‍යාවෙන් සක්‍රිය වෙනතාක්කල්, ඇලීම් සහ ගැටීම් ලෝකයේම කොටසක් වෙනවා. සුන්දර විදර්ශනාමය සමාධිය ඉදිරියේ උපදින විදර්ශනාමය උපේක්ෂාව අන්‍යයන්ගේ පංචනීවරණයන් දකින්නේ පුද්ගල සංඥාවෙන් නම් නොවේ, උතුම් සම්මා දිට්ඨියේ සහ සම්මා සංකප්පයන්ගේ මන්දපෝෂණීයභාවයේම ඵලයක් හැටියටයි. ලෞකික ප්‍රඥාව මන්දපෝෂණයට ලක්වූ කල්හි සම්මා සමාධිය සිහිසුන්වයි පවතින්නේ. උතුම් සම්මා සමාධිය සිහිසුන් වෙද්දි, ඇතිවෙන අසිහිය නිසාම අනිත්‍ය වූ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්, නිත්‍ය, සැප, සුභ, ආත්මීය වශයෙන්ම පෙනනවා. ලෝකය වැරදි නැහැ. ලෝකය දකින අවිද්‍යාවේ දැක්මයි අපිට වැරදිලා තිබෙන්නේ.

පිංවත් ඔබ විද්‍යාවෙන් ලෝකය දකින්න. විද්‍යාවෙන් ලෝකය දකින්න නම්, සම්මා සමාධිමත් සිතක් අවශ්‍යම වෙනවා. ඒ සුන්දර සම්මා සමාධිමත් සිත, රූපයේ අනිත්‍යභාවය දකින කායානුපස්සනාවෙන් පෝෂණය කරද්දී, අධ්‍යාත්මික සහ බාහිර රූපයන් කෙරෙහි බැඳී ඇති නිත්‍ය, සැප, සුභ, ආත්මීය, අවිද්‍යාවේ මළකඩ කැඩීයන්නේ, උදෑසන දත් බුරුසුවෙන් දත් මදිද්දී, දත්වල බැඳී තිබෙන මැලියම් කැඩී යනවා වගේමයි.

අද උදෑසන දත් මැද්දත්, නැවත හෙට උදෑසනත් දත් මදින්න ඕනේ. රූපය තිබෙන තාක්කල්, රූපය උපදින තාක්කල්, අපට ජරා, ව්‍යාධි, මරණ ධර්මයන් හොඳටෝම සමීපයි. අපට ඉතිරිවෙලා තිබෙන්නේ ජරා, ව්‍යාධි, මරණයන්ට යටත් රූපය සංස්කාරයන්ට අදාළව තිබෙන්නට හැරලා, රූපය කෙරෙහි තෘෂ්ණාව සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් මරාදැමීම පමණක්මයි. පිංවත් ඔබ රූපය ඉතිරිකොට, රූපය කෙරෙහි තෘෂ්ණාව මරාදමද්දී, ඔබ තුළ ඉතිරිවෙන්නේ පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත ඇති සැටියෙන් දකින, ධර්මයේ උපේක්ෂාව පමණක්මයි. මේ උතුම් විදර්ශනාත්මක උපේක්ෂාව, ඔබේ ජීවිතය අතීත සංස්කාරයන්ට භාරදීලා, වර්තමානයේ ඔබව සතරසතිපට්ඨාන ධර්මයන් තුළම ජීවත්කරාවි. දැන් නම් හොඳටෝම සවස්වෙලා, ඉර බැස යන්නත් ළඟයි. අනාගතයේ කවදාහරි දවසක, අපේ ජීවිතත්, මරණය ඉදිරියේ අවරට යාවි. මරණය සිහිපත්වෙද්දී ජීවිතයට ලොකු සතුටක් දැනෙනවා. මේ ලෝකයේ පිංවත් මනුෂ්‍යයෙක් ලබන ශ්‍රේෂ්ඨම සතුට තමයි, තමන් මැරෙනවාය, මැරිලා නැවත උපදිනවාය කියලා සිහිපත්වීමෙන් ලබන සතුට. එම සතුට පිංවත් ඔබගේ දුකේත්, සතුටේත් නිරෝධය උදෙසා ඔබට පාර පෙන්වන සතුටක්මයි. ලෞකික ප්‍රඥාවෙන් පෝෂණය වූ මරණානුස්සතිය ඔබව ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් ඔබව නිදහස්කොට දෙනවා.

තවත් සුන්දර රාත්‍රියකට අතවනන, මේ නිහඬ සන්ධ්‍යාවේ, භික්ෂුවගේ ජීවිතය සප්තබොජ්ජංගයන්ගෙන් මලක් වගේ විකසිත වෙලා. ඒත් ඒ මලේ පරවීයන මල්පෙති නැහැ. එහි තිබෙන්නේ පටිච්චසමුප්පන්න සංස්කාර නමැති රොන් උරා බොමින් යැපෙන, අනිත්‍ය වූ විඤ්ඤාණයක ක්‍රියාකාරිත්වයක් පමණක්මයි. ජීවිතය සිත්සේ අතීත කුසල් සහ අකුසල් ගල්පරවල හැපෙමින්, පැසසුම් සහ ඔච්චම් මැද ගලාගියදෙන්, අතීත සංස්කාරයෝ විසින්ම ජීවිතය ඉදිරියේ, මරණය නමැති රතු ඉර ගසනකම්.