සංස්කාර නම් නූල් බෝලයේ පැටලෙන්න එපා!

භික්ෂුව මේ ලිපිය සටහන් තබන මොහොතේ කොරෝනා ඇඳිරි නීතිය ඉවත්කොට තිබුණත්, පින්වත් මනුෂ්‍ය ජීවිතවලට තවම නම් ආලෝකයක් වැටිලා නැහැ. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ච, විචිකිච්චා පංච නීවරණ ධර්මයන්ගේ අඳුර ජීවිතවල කැටිවෙලා තිබෙනවා. සප්ත බොජ්ඣ`ඕඟ ධර්මයන්ගේ ආලෝකය ජීවිතවලට ලැබෙන්න නම් අපි දක්ෂ වෙන්න ඕන, සද්ධර්මයට අදාළව සිදුවෙච්ච විනාශය දකින්න. අපේ රටේ තිබෙන පව්කාර දේශපාලනය පින්වත් ජනතාවගේ ජීවිත අඳුරු කරන්න ගොඩක් උපකාරක ධර්මයන් සකස්කොට දෙනවා.

අතීතය පුරාවට මනුෂ්‍ය සමාජයේ අපි සිතින්, කයින්, වචනයෙන් සිදුකොට ගන්තා වූ අකුසල් ප්‍රමණය මොනතරම් විශාල ද කියලා වර්තමාන කොරෝනා විනාශය තුළින් මොනවට ඔප්පුකොට පෙන්වා දී තිබෙනවා. මුළු ලෝකයම මරණ බියට පත්කරමින් විපාකදෙන කොරෝනා වසංගතය ගැන කාටවත් ම පෞද්ගලිකව චෝදනා කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්ත්වයා කර්මය දායාද කොටගෙන උපදියි කියලා. සත්ත්වයා කර්මය මගේ කොටගෙන, ඥාතියා කොටගෙන උපදියි කියලා. ධර්මානුකූලව පේනවා නේද, කොරෝනා වසංගතය කියන්නේ කාගේ ඥාතියෙක්ද කියලා. කවුරුන් දුන්න දායාදයක්ද කියලා. කොරෝනා විනාශයේ නාමයෙන් පින්වත් ඔබ ඔබේම ඥාතියෙකුට බණින්න එපා. චෝදනා කරන්න එපා. ධර්මයේ උපේක්ෂාවෙන්, සප්ත බොජ්ඣ`ඕඟයන් වැඩෙන සිතින් ඔබට ලැබුණු කොරෝනා අකුසලයේ දායාදය පිළිගන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් පටිච්චසමුප්පාද ධර්මයන් නොදන්න පින්වතා, එම ධර්මයන්ට අදාළව ජීවිතය නොදකින පින්වතා පැටලූන නූල් බෝලයක් වගේය කියලා. කුසල් වේවා, අකුසල් වේවා සංස්කාරයන් විපාක දෙනවිට, පැටලූන නූල් බෝලය තව තවත් පටලවා ගන්නවාය කියලා. ඵස්සය නමැති නූල් බෝලය තෘෂ්ණාවෙන් උපදින ඇලීම් සහ ගැටීම් හේතුවෙන් සත්ත්වයා අකුසල් සංස්කාරයන් තුළ තව තවත් පැටලෙනවා. සංස්කාරයන් තුළ තව තවත් පැටලෙන පින්වතා, කාමභවයේ තිරිසන්, ප්‍රේත, අසුර, නිරසත්ත්ව ජීවිතවල පටිච්චසමුප්පන්නව පැටලිලා යන්නේ හරිම අවාසනාවන්ත විදියට.

අනිත්‍ය වූ රූප, අනිත්‍ය වූ විඳීම්, අනිත්‍ය වූ හඳුනාගැනීම්, අනිත්‍ය වූ සංස්කාර සහ විඤ්ඤාණයන් මගේ කොටගෙන, මගේ ආත්මය කොටගෙන, ඒවා තුළ බැසගෙන, ලැගගෙන පටිච්චසමුප්පාද ධර්මයන් නොදන්න මනුෂ්‍යයා, උපාදානයන්ට පැටලෙන්නේ එම පැටලිලි සතර අපායන්හි කල්ප ගණනාවකට තව තවත් පැටලිලා යන්නමයි.

පින්වත් ඔබේ ඵස්සය නමැති නූල් බෝලය පැටලිලා ද, පැටලිලි සහිත ද? වහ වහා ඵස්සය ඉදිරියේ සතිය සිහිය ඇතිකොටගන්න. මේ ලෝක ධාතුවට පහළවෙන ශාස්තෘන් වහන්සේලාගෙන්, ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණක්මයි උතුම් පටිච්චසමුප්පාද ධර්මයන් දේශනා කරන්නේ. වර්තමානයේ සියලූම බුද්ධිමත් ලෝකයාටම මැනවින් තේරෙනවා කොරෝනා වසංගතය වැනි අකුසල් විපාකයකදී දෙවියන්ට, බ්‍රහ්මයින්ට කරන්න දෙයක් නැහැය කියලා. දෙවියන්ටත් කරන්නට පුළුවන් වෙලා තිබෙන්නේ සුවපත් වේවා… යැයි කියලා තමන්ට පින් අනුමෝදන් කරන ජනතාවට ආශීර්වාද කිරීම පමණක්මයි.

මේ විනාශකාරී නිමේෂයේදී ජනතාවගේ නිරෝගීභාවය උදෙසා දෙවියන්ටත්, බ්‍රහ්මයන්ටත් කරන්න දෙයක් නැතිනම් පින්වත් ඔබ ධර්මානුකූලව තේරුම් ගත යුතුයි, කොරෝනා වසංගතය පැමිණීමට පෙර පින්වත් ඔබලා ලැබුව සතුට, විනෝදය, නිදහස, නීරෝගීභාවය, ආශ්වාදය දෙවියෙක් හෝ බ්‍රහ්මයෙක් ලබාදුන් දෙයක් නොවන බව.

පින්වත් ඔබලාගේ ජීවිතවලට අතීතයේ සතුට, විනෝදය, නීරෝගීභාවය, නිදහස, ආශ්වාදය ලැබුණේ බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සුන්දර පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අර්ථයක් වෙන, අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මයේ අර්ථය හේතුවෙන් පමණක්ය කියන සත්‍යය තේරුම් ගන්න. ලෝකය පාලනය කරන, ලෝකයට සැප සහ දුක් බෙදාදෙන, ලෝකයට දඬුවම් කරන, නොපෙනෙන බලවේගයන් හෝ සැඟවී තිබෙන විශ්ව ශක්තියක් ලෝකය තුළ නොමැති බව, පින්වත් ඔබ නුවණින් තේරුම් ගතහොත්, එය අකුසලයෙන් උපන් කොරෝනාවෙන්, පින්වත් ඔබ මතුකොටගත් සුන්දර ධර්මයේ විජයග්‍රහණයක් වෙනවා.

අවිද්‍යාවේ අන්ධ විශ්වාසයන් දිනෙන් දින බිඳ දමන අකුසලයෙන් උපන් කොරෝනා වසංගතය සමස්ත බෞද්ධ සහ අබෞද්ධ ලෝකයාටම උගන්වන එකම පාඩම, උතුම් පටිච්චසමුප්පාද ධර්මයන්ගේ අර්ථයයි.

කොරෝනා අමිහිරි අත්දැකීම තුළින්, තම හෘද සාක්ෂියත් සමඟ තර්ක විතර්කකොට මතුකොටගත් ඉහත ඇත්ත අපි අවබෝධයක් දෙසට යොමුකොට ගන්න නම්, පින්වත් ඔබගේ සැබෑම ඉලක්කය විය යුත්තේ, නීරෝගීභාවය පමණක්ම නොවේ. මේ ජරා, ව්‍යාධි, මරණයන්ට එකම හේතුව වන අවිද්‍යාවයි. පින්වත් ඔබ මේ මොහොතේ පටන් අවිද්‍යාව නිරෝධය කිරීමේ මෙහෙයුම අරඹන්න. මේ මොහොත ඔබේ සුබ මොහොත යැයි දකින්න.

කොරෝනා විනාශය ඉදිරියේ අපේ රටේ ගොඩක් මෙහෙයුම් ආරම්භකොට තිබෙනවා. රට නැවත ගොඩනැගීමේ මෙහෙයුම්, ආහාර සංග්‍රාම මෙහෙයුම්, නීරෝගීභාවය ආරක්ෂාකොට ගන්නා මෙහෙයුම්. සමාජගත පැවැත්ම උදෙසා ඉහත මෙහෙයුම් අත්‍යවශ්‍ය වුවද, මේ සෑම මෙහෙයුමකට ම මූල බීජය වන්නේ ද සංස්කාරයන්ගේ නිත්‍යභාවයම දකින අනාගත පංච උපාදානස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරන, අවිද්‍යාව කියන අර්ථයම බව, අපි නුවණින් තේරුම් ගතයුතු වෙනවා.

පින්වත් ඔබලා තම උපන් රට නැවත ගොඩනැගීම උදෙසා, පින්වත් ඔබේ බිඳවැටුණු ආර්ථිකය නැවත ශක්තිමත්කොට ගැනීම උදෙසා සිදුකරන සෑම මෙහෙයුමක් ම, අවිද්‍යාව පෝෂණය නොකරන, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළ සිටිමින් සිදුකරන්න. වංචාව, දූෂණය, සොරකම, ආත්මාර්ථකාමීත්වය අවිද්‍යාවේම රස නහර පිනවන රස කාරකයන් බව නුවණින් තේරුම් ගන්න.

කොරෝනා විනාශයෙන් නැවත රට ගොඩනැගීමේදී නැවත අනාගත කොරෝනා වෛරසයක් සඳහා අකුසල් රැස්කොට ගැනීමේ මෙහෙයුමක් බවට නම් පින්වත් ඔබලාගේ මෙහෙයුම් පත්කොට ගන්න එපා. මොකද වර්තමාන කොරෝනා වසංගතය යනු අපේම අතීත අකුසලයෙන් උපන් ඥාතියෙක්. අපිම සමාජයට දුන් දායාදයක්ය කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැහැදිලිකොට දෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ලෝකය යනු සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ රඟමඬලක්ය කියලා. සංස්කාරයන්ගේ නූල් සූත්තරයන්ට අදාළව නටන විඤ්ඤාණය නමැති මැජික්කරුවා, අකුසල්වලින් මොනවට බරවූ සමහර ලෝක නායකයින් ලෝකයා ඉදිරියේ හාස්‍යයට පත්කළා. කොරෝනා වසංගතයෙන් දස දහස් ගණනින් තම රටේ ජනතාව මියගිය, ඇමෙරිකාවේ රාජ්‍ය නායකතුමා කියනවා, කොරෝනා විනාශය අපේ රටට ගෞරවයක්ය කියලා. උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් ජීවමානව තිබියදීම, අකුසලය ඉහවහා ගිය ලෝකයා අන්ත අසරණභාවයට පත්වෙලා, මාරයා මරු කියවනවා හැරෙන්නට කවදාකවත් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට අදාළව ප්‍රශ්නයක් විග්‍රහ කරන්නේ නැහැ.

ලෝකයේ බලවතුන් යැයි සිහින ලෝකවල ජීවත්වෙන ජරා, ව්‍යාධි, මරණ උගුලේ සිරවී ජීවත්වෙන ලෝක නායක පින්වතුන්, අකුසලයෙන් උපන් කොරෝනා වසංගතයේ විනාශය නිසා රූපවාහිනී තිරයේ හඬා වැටෙනවා. සමහරු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. තවත් සමහරු සැඟවී ජීවත් වෙනවා. කොරෝනා වසංගතය සමස්ත ලෝකයට ඔප්පුකොට පෙන්වා දී තිබෙනවා, මේ ලෝකයේ සැබෑම බලවතා ඇමෙරිකාවවත්, චීනයවත්, ඉන්දියාවවත්, රුසියාවවත් නොව, උතුම් දස කුසල් ධර්මයන්ය කියලා.

බි‍්‍රතාන්‍ය අගමැතිතුමා කොරෝනා රෝගයෙන් උත්සන්න වී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබත්දී, එම අගමැතිතුමා දෙවියන්ගෙන් ඉල්ලා සිටියේ, තමන්ට බි‍්‍රතාන්‍ය අගමැතිකම රැකදෙන්න කියලා නොවේ, තමන්ට ජීවත්වෙන්න ජීවිතය දෙන්න කියලයි. ආයුෂ, වර්ණය, සැපය, බලය දෙන්න කියලයි. බටහිර රටවල ධනවත් පින්වතුන් රෝහල්වල අසරණව ජීවිතයත්, මරණයත් අතර සටන් කරනකොට, එම පින්වතුන් කියන්නේ, මා සතු මගේ සියලූම ධනය, දේපළ, වත්කම් අරගෙන, මට ජීවිතය, ආයුෂය දෙන්න කියලයි. කොරෝනා වසංගතයට ගොදුරු වූ සෑම පින්වත් මනුෂ්‍යයෙක්ම ඉල්ලා සිටින්නේ, මා සතු සියලූ සම්පත් අරගෙන මට ජීවිතය දෙන්න, මට ආයුෂය දෙන්න කියලා. ජීවිතය දෙන්න, ආයුෂය දෙන්න කියන ඉල්ලීමේ ධර්මානුකූල අර්ථය කුමක්ද? මට පින දෙන්න, මට සතර ඍද්ධිපාද දෙන්න, මට දස කුසල් ධර්මයන්ගේ ශක්තිය දෙන්න කියන අර්ථයයි.

අබෞද්ධ බටහිර ලෝකයාට විස්තරකොට කියාගන්න නොතේරෙන, ජීවිතය යැදීමේ, ආයුෂය ඉල්ලීමේ ධර්මානුකූල අර්ථය එයයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සක්විති රජ කෙනෙක් බිහිකරන වත දස කුසල් ධර්මයන්ය කියලා. ආර්ය චක්‍රවර්ති වත යනු දස කුසල් ධර්මයන්මයි. සක්විති රජු දස කුසල් ධර්මයන් ඇසුරු කොටගෙන, දස කුසල් ජීවිතය කොටගෙන, දස කුසල් අධිපති කොටගෙන ජීවත් වෙනවා. මුළු ලෝකයම විජයග්‍රහණය කරන ශක්තියක් දස කුසල් ධර්මයන්ට තිබෙනවා. වර්තමානයේ සක්විති රජවරුන් බිහිනොවන්නේ, ලෝකයේ පාලක පින්වතුන්ලාත්, පින්වත් ජනතාවත් දස කුසල් ධර්මයන් නොතකන නිසාමයි. දස කුසල් ධර්මයන්ට තම ජීවිත වලින් වටිනාකමක් ලබා නොදෙන නිසාමයි. එහෙත් වර්තමාන කොරෝනා වසංගතය සක්සුදක් සේ ධර්මය දන්නා ලෝකයාට ඔප්පුකොට පෙන්වා දී තිබෙනවා, මේ ලෝකයේ මෙලොව සහ පරලොව සැපසේ ජීවත්වෙන එකම බලවතා දස කුසල් ධර්මයන්ගෙන් ශක්තිමත් පින්වතාය කියලා. පින්වත් ඔබ තනි තනිව මේ සත්‍ය ධර්මයන් ජීවිතයට එකතුකොට ගන්න. පූර්වාදර්ශ සොයන්න යන්න එපා.

අවිද්‍යාව වැඩිවෙන්න, වැඩිවෙන්න සංස්කාරයෝ වේගයෙන් ප්‍රතික්‍රියා දක්වනවා. කුසලය සහ අකුසලය අතර දෝලනය වෙනවා. සමාජයේ ජීවත්වෙන එක නායකයෙක් ප්‍රකාශයක් සමාජගත කළොත්, එම ප්‍රකාශය රූපවාහිනියෙන්, පුවත්පත් වලින්, සමාජ ජාලා වලින් අහලා, දැකලා එම ප්‍රකාශය නිසා කෝටි ගණනක් මනුෂ්‍යයෝ, කුසල් සහ අකුසල් රැස්කොට ගන්නවා. මෙවැනි හේතූන් නිසා ලෝකයේ සහ සමාජයේ යහපත් සහ අයහපත් තත්ත්වයන් මොහොතකින් වෙනස් වී යන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ ලෝකය සංස්කාර හේතුවෙන් කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් නැවත සකස්වෙමින් පටච්චසමුප්පන්නව කල්ප සියක් කෝටි ගාණක් ඈතට දුර ගමනක් යනවා. වර්තමානයේ රතු බල්බය දීප්තිමත්ව පත්තුවී, අකුසලයේ වියරු ස්වභාවය ගැන ලෝකයට අනතුරු හැෙඟව්ව ද, අපි තාමත් ලෝභ, ද්වේශ, මෝහ සැඩ පහරේ අසිහියෙන්ම ජල ක්‍රීඩා කරනවා.

සමාජය දෙස හොඳින් බලන්න. කෙනෙක් බණිනවා. තව කෙනෙක් විවේචනය කරනවා. තව කෙනෙක් පසසනවා. තවත් අය මුළු රටම අවුල් කරනවා. විඤ්ඤාණය නමැති මැජික්කරුවා අකුසල් සංස්කාරයන් ප්‍රයෝජනයට අරගෙන, නැවතත් අකුසලය දෙසටම, අනාගත මෘග සංඥාවන් දෙසටම ලෝකය මෙහෙයවනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එළ මුත්‍රා සහ අරළු යෙදූ ගන්ධයෙන්, රසයෙන් ඉතාමත් අමිහිරි නොරුස්සන පානයක් තිබෙනවා. නමුත් මෙම අමිහිරි පානය වැළඳුවොත් ජීවිතයට, ආයුෂය, වර්ණය, සැපය, බලය හොඳින් වැඩෙනවාය කියලා. ඒ වගේමයි මී පැණි, ගිතෙල් යෙදූ වර්ණවත්, සුගන්ධවත් තවත් පානයක් තිබෙනවා. එය රසයෙන් විශිෂ්ටයි. හැබැයි එය වැළඳුවොත් මරණීය දුකටමයි පත්වෙන්නේ කියලා. දයාබර පින්වත, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට සැපම සොයා, රසයම සොයා, වර්ණය, සුගන්ධය ම සොයා, ආශ්වාදයේ මිහිරම සොයා යන මේ ගමන, මී පැණි, ගිතෙල් යෙදූ රසයෙන්, වර්ණයෙන්, සුගන්ධයෙන් යුත් එහෙත් අකුසලයේ විෂ මුහුකළ ප්‍රණීත පානය වගේමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.