ජීවිතයේ අනිත්‍යය දකිමින් කොරෝනාවෙන් මිදෙන්න – 1

දිනය පුරාවට අපිව ආලෝකවත් කරපු හිරු, බටහිර අහස්කුසෙන් බැස යන්නයි සූදානම් වෙන්නේ, රත් පැහැයෙන් දිළිහෙන හිරු, තවත් මොහොතකින් අපේ දෑස් මායිමෙන් සමු ගනීවි, නැවත හෙටත් උදෑසන අපිව ආලෝකවත් කරන්න එන බලාපොරොත්තුවෙන්. සෑම රූපයක්ම, සෑම විඳීමක්ම, වෙනස් වෙලා යනවා. අපිව ලෝකය තුළ නතර කරලා. මෙම ලිපිය සටහන් කරන භික්ෂුව, සංස්කාර විසින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගණනක් මේ පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නතර කරවගෙනයි සිටින්නේ. මේ අසාධාරණය කාටවත්ම පේන්නෙ නැහැ.

හැබැයි ඉතිං උදේට කන්තෝරුවට පැයක් ප්‍රමාදවෙලා ගියොත් රතු ඉර ගහනවා. රජයේ කාර්යාලයකට රාජකාරි කටයුත්තකට ගොස් පැයක් ප්‍රමාද වුණොත්, මොන තරම් චෝදනා, විවේචන අප තුළින් මතු වෙලා එනවද? ඒත් දෙවියනේ, සංස්කාර විසින් අපව මේ භවාත්‍රයේ කල්ප ගණනාවක් ප්‍රමාදීභාවයට පත්කොටගෙන සිටියදීත් අප සුවසේ විත්තිකරුවා වන සංස්කාරම පෝෂණය කරනවා.

බුදුරජාණන් වහන්සේ සත්‍ය වචනයේ ඇති වටිනාකම් මොනවට පැහැදිලි කොටදී තිබියදීත්, අපේ රටේ ඇතුළු ලෝකයේ ජීවත්වෙන පිංවත් මනුෂ්‍යයෝ හරියට බොරු කියනවා. සම්මා වාචාවන් අපි තුළින් නොවැඩුණොත් කවදාකවත් අප තුළ සම්මා සතියක් ඇති වෙන්නේ නැහැ. මේ ලෝකය බිහිවුණා දා පටන්ම මනුෂ්‍ය ප්‍රජාව කරපු පළමුවැනි වරද තමයි බොරුකීම.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ලෝකය බොරු පහකින් වැසී ගිහින් තිබෙන්නේ කියලා. මේ ලෝකයා බොරු පහක් තුළ බැසගෙනයි ජීවත්වෙන්නෙ කියලා. බොරු පහක් ආත්මය කොටගෙනයි ජීවත් වෙන්නෙ කියලා. බොරුව ආත්මයක් කොට ගනිත්දී, කෙසේ නම් අප, අපව භවාත්‍රයේ ප්‍රමාදීභාවයට පත්කරන සංස්කාරයෝ හඳුනාගැනීමට සම්මා සතියක් ඇතිකොට ගන්නද? සම්මා සමාධියක් ඇතිකොට ගන්නද?

මේ ලෝකය වසාගෙන තිබෙන පළමුවැනි බොරුව තමයි, රූපය නිත්‍යයි, සැපයි/සුභයි කියන බොරුව. ඉතිරි බොරු හතර තමයි වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ යන ධර්මයන් නිත්‍යයි, සැපයි, සුබයි කියන බොරුව. පිංවත් ඔබ ඔබේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්නකෝ, ඔබ මේ බොරු පහ මගේ කොටගෙන නේද ජීවත් වෙන්නෙ කියලා. පිංවත, අපි කල්ප ගණනාවක් ප්‍රමාදයි. ඇත්තටම බොරුව අපේ ජීවිතය බවට පත්වෙලා, නමුත් අපි බොහොම උද්දාමයෙන් කියන්නේ, මම දිවිහිමියෙන් පංචශීලය සුරකිනවාය කියලා. නමුත් මේ නිමේෂයේදීත් රූපය සැපයි, නිත්‍යයි, සුභයි, ආත්මයි කියන බොරුවේ කොටස්කරුවෙක් වෙලා අපි දිවිහිමියෙන් රකිනවා යැයි කියන පංචශීලය ධර්මයේ අවබෝධාත්මක දිශාවන්ට අපිව යොමු කරන්නේ නැහැ. අපි දිවිහිමියෙන් රකින පංචශීලයත් අපිව භවාත්‍රයේ ප්‍රමාදීභාවයට පත්කරන සංස්කාර නමැති විත්තිකරුවාගේ පෝෂණය උදෙසාමයි යොමුකොට ගන්නේ.

බුදුරජාණන් වහන්සේ ලෝකය බැසගෙන සිටින ඉහත බොරු පහ ලෝකයට හෙළි කරලා, මේ විෂම බොරු පහෙන් සත්‍යය ජයගන්න අවශ්‍ය ඇත්ත හතරක්, පූජනීය සත්‍යය හතරක් ලෝකයට දේශනා කරනවා. ඒ ඇත්ත හතර තමයි උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් කියන්නේ. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය යැයි කියන්නේ.

පිංවත් ඔබලා මේ මොහොතේ කොරෝනා වසංගතය ඔබට ධර්මානුකූලව බලකර සිටිනවා, තවත් තව තවත් ප්‍රමාද නොවී ලෝකය වසාගෙන තිබෙන බොරු පහෙන් මිදී ලෝකය ජයගන්න. දුකෙන් මිදී යන ඇත්ත හතරට ජීවිතය යොමුකර ගන්නය කියලා.

පිංවත් මහත්මයෙක් භිකෂුවගෙන් විමසුවා, ස්වාමීන්වහන්ස කුමක්ද මේ ලෝකය තුළ සිද්ධ වෙන්නෙ කියලා. මේ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලබාදෙන්නේ බොහෝම සරල එහෙත් ගැඹුරු පිළිතුරක්.

මහත්තයෝ, ලෝකය ලෝකයේ ස්වභාවයෙන් තිබෙනවා. ලෝකය කියන්නේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. අවිද්‍යාව හේතුවෙන්, ඒ කියන්නේ, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඇත්ත හතර නොදැනීමේ හේතුවෙන් සකස් වෙන සංස්කාරයෝ කැඩෙමින්, බිඳෙමින්, විසිරෙමින් මේ මොහොතේ සුවසේ ධර්මානුකූලව ක්‍රියාත්මක වෙනවා. මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතයත් අද හෝ හෙට කැඩී, බිඳී, විසිරී යයි ද දන්නේ නැහැ. භික්ෂුවටත් මේ දවස්වල සුළෙඟ් වියලි බව නිසාම, සෙම්ප්‍රතිශ්‍යා ගතියක් තිබෙනවා. නමුත් ඒ සෙම්ප්‍රතිශ්‍යාව තුළ, ”මම” හෝ ”කොරෝනා” රෝගය හෝ බැසගෙන නැහැ.

කොරෝනා රෝගය සිහිපත් වෙද්දී, භික්ෂුවට එම රෝගය යනු, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සහ සකස් වූ, අනිත්‍ය වූ සංස්කාරයක් පමණයි.

පිංවත් ඔබ කොරෝනා රෝගය ආත්මීය දෘෂ්ටියෙන් ගන්න එපා. කොරෝනාව තුළ ”මම” හෝ ”මම” තුළ කොරෝනාව තිබෙනවා යැයි දකින්න එපා. විපාකයට පැමිණෙන සංස්කාරයෝ අනිත්‍ය වූ සංස්කාරයන්ටම භාරදෙන්න. ඔබ නිදහසේ ප්‍රීතිය, පස්සද්ධිය තුළම සිටින්න. එතැනයි ඇලීම්, ගැටීම්වලින් තොර උපේක්ෂාවට මාර්ගය වෙන්නේ.

මෙය සටහන් තබන භික්ෂුව නිරතුරුවම සිතන්නේ ”සංස්කාර” ඔබට අවශ්‍ය නම්, මේ ජීවිතය ජීවත් කරන්න, ඔබට අවශ්‍ය නම් දැන්ම අපවත්කොට දමන්න කියලයි. භික්ෂුව හොඳාකාරව දන්නවා, මේ ජීවිතය අතීත සංස්කාරයන් හේතුවෙන් නැටවෙන රූකඩයක් පමණක්මයි කියලා. ජීවිතය ගැන කිසිම ස්ථිරභාවයක් භික්ෂුවට නැහැ. රූකඩකරුවාගේ නූල් සූත්තරයට නටනවා පමණක්මයි.

පිංවත් ඔබලා හෙට දවසේ කෙරෝනා වසංගතය ජයගත්ත ද, ඔබගේ ජීවිත අන්ත පරාජිතවයි තිබෙන්නේ. ජයග්‍රහණයක උපේක්ෂා සහගත ඉරියව්වක් පෙනෙන තෙත් මානයකවත් නැහැ. පටිච්චසමුප්පාද ධර්මයේ සෙවනැල්ලක් අපේ ජීවිතවලට වැටී නැහැ. ශීල විශුද්ධියෙන් සහ චිත්ත විශුද්ධියෙන් පෝෂණය වන සුන්දර දිට්ඨි විශුද්ධිය, අපේ ජීවිත තුළ පුරන්වෙච්ච වෙල්යායක් වගෙයි. උපේක්ෂාවේ තණපතක් ඇහැට පේන්නවත් නැහැ. ඵස්සය අසල වැටකඩොලූ, කැඩී බිඳී ගිහින් තිබෙන්නේ. තෘෂ්ණාවේ සොර දෙටුවා, උපාදානය සිත්සේ සොරකම් කරනවා භවය නමැති ගිණුම ශක්තිමත් කොටගන්න.

පිංවත, භවය ශක්තිමත් වන තාක්කල් ඉපදීම තිබෙනවා. පිංවත් ඔබ මේ නිමේෂයේදීත් කොරෝනා වසංගතය හේතුවෙන් ඇලීම් සහ ගැටීම් තුළ නම් ජීවත් වෙන්නේ, මේ නිමේෂයේදීම ඔබ, භවය තිරිහන් කොටගැනීමේ මෙහෙයුමකයි ජීවත්වෙන්නේ. භවය තිරිහන්වෙන තැන ඉපදීම නියතයක් ම වෙනවා.

ඉපදීම තිබෙන තාක්කල් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් ගොඩ, දෑසින් කඳුළු හලන, හදවතින් පිච්චි පිච්චි ජීවත්වෙන, දුක් ගොඩ ඔබෙත්, මගෙත් සෙවනැල්ලක් සේම පසුපසින් සීරුවෙන් පැමිණෙනවා. පිංවතුනේ පංච උපාදානස්කන්ධ ලෝකයම අකුසලයෙන් ගිනිගත් වර්තමානයේ, කරුණාකර ඉපදීම නිරෝධායනය කිරීමේ මෙහෙයුම අරඹන්න.

ඉපදීමට හේතුවන පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව උපද්දවන ඇස, කන, නාසය, දිව, ශරීරය, මනසට වහ වහා ඇඳිරි නීතිය පනවන්න. පිංවත් ඔබ තුළ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් මුහුවෙන ඵස්සය ඉදිරිපිට දැනට ගරා වැටී ඇති ඇලීම් සහ ගැටීම් වැටකඩුලූ හොඳින් බැඳදමා, ඵස්සය ඉදිරිපිට සතිය, සිහිය නමැති ආරක්ෂකයා සීරුවෙන් තබන්න.

මේ සටහන ලියන මොහොතේ මුළු රටටම ඇඳිරි නීතිය පනවලයි තිබෙන්නේ. ගමේ වැව අද්දර හේන් යායක, ජලය පොම්ප කරන මෝටරයේ හඬ හැර ප්‍රදේශයම දැඩි නිහඬතාවයක ගිලිලයි තිබෙන්නේ. පරිසරය වෙනදාට වඩා හරිම ආලෝකවත්. ගහකොළ, කැලේ සතා සිවුපාවා පවා නිදහසේ පිරිසිදු වාතය ස්පර්ශ කරනවා. පරිසරයේ වායු දූෂණය හොඳටෝම අඩුවෙලා. සුළඟ පවා හරිම සැහැල්ලූයි.

කොරෝනා කළු වලාකුළු මත රිදී රේඛාවක් සේ නිරෝගී පිරිසිදු වාතාශ්‍රයක් පරිසරයට ලැබුණත් ඒ පිරිසිදු වාතය ආශ්වාස, ප්‍රශ්වාස කරන්න මනුෂ්‍යයෝ කවුරුත්ම පරිසරයේ නැහැ. පිංවත් මනුෂ්‍යයෝ සියලූදෙනාම ඇඳිරි නීතියට යටත්ව නිවාසවලට හිරවී සිටියදී, පිරිසිදු සෞම්‍ය වාතාශ්‍රයේ නිකෙලෙස් සුවය විඳිමින් වර්තමානයේ වැඩසිටින ජීවමාන බුදුරජාණන් වහන්සේ වන, ”උතුම් ශ්‍රී සද්ධර්මය” සද්ධර්මයේ ඒහිපස්සික ගුණය ගැන, කුසල් ධර්මයන්ගේ සහ අකුසල් ධර්මයන්ගේ යහපත් සහ අයහපත් විපාකයන් විවෘතව සැඟවීමකින් තොරව විපාකදීමේ ස්වභාවය ගැන, සුන්දර ධර්ම දේශනාවක් පවත්වනවා.

ලොව පුරා වසංගතයක්ව පැතිර යන කොරෝනා වෛරසය, සුන්දර ධර්ම දේශනාවක්. හොඳින් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. දුප්පත්, පොහොසත් සැමටම, බලවත්, දුර්වල සැමටම එකම හැන්දෙන් බෙදන කොරෝනාව සංස්කාර නමැති අධිකරණයේ ”ස්වාධීනත්වය” පිළිබඳව ඔබට දෙන වටිනා සහතිකයක්.

ලෝකය තුළ පවතින අන්තවාදී, ඒකපාක්ෂික මානව හිමිකම් විහිළුවලට, සුන්දර අතුල් පහරක් කොරෝනාව ලබා දෙනවා. දේශසීමා, මායිම් නොතකා කොරෝනා වසංගතය සමස්ත ලොකු සහ කුඩා මනුෂ්‍ය ප්‍රජාවම භීතියට, මරණ බියට පත්කොට තිබියදී ජිනීවා නුවර මානව හිමිකම් කට්ටිය කොහේ ගිහින් ද දන්නේ නැහැ. ඒ අයගේ සුපුරුදු වාර්තා, ප්‍රකාශ, විරෝධතා මොකුත්ම නැහැ. කොටින්ම මානව හිමිකම් කාර්යාලයත් වසා දමලා.

පේනව ද, උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණය, අකුසල් විපාකයෝ විවෘතව බබළන අපූරුව. තමන් සියල්ලම ”දත්” යැයි සිතන, මිථ්‍යාදෘෂ්ටික මහදැනමුත්තලාට, දැන් තේරෙනවා ද, තමන්ගේ ඒකපාක්ෂික මානව හිමිකම් අසත්පුරුෂභාවය තුට්ටුවකටවත් මායිම් නොකරන, සද්ධර්මයේ ඒහිපස්සික සාධාරණ අධිකරණ ක්‍රියාවලියක්, ලෝකය තුළ ක්‍රියාත්මක වෙනවා ය කියන කාරණය. ඒ සාධාරණ අධිකරණ ක්‍රියාවලිය තුළ අසත්පුරුෂ මානව හිමිකම්, නෝනා, මහත්වරුන් ද, අකුසල් සංස්කාරයන්ගේ දණ්ඩනයට ලක්වෙලා. සාදු සාදු, කොරෝනාව ඔබ ලෝකයාටම දේශනා කරන සුන්දර අර්ථවත් දේශනාවක්මයි.

පිංවතුනි, කාලය වේගයෙන් ගෙවීයනවා. ”ජීවිතය” ලෝකය තුළ නතර කරලා, මෝඩකමට, අනාගතය, අනාගතය යැයි කියලා සංස්කාර නම් පොදි බඳින්න එපා. පිංවත් ඔබ කාම භවයේ ගිලීයාවි.
පිංවත් ඔබ ජීවමාන ශාස්තෘන්වහන්සේ වන ”උතුම් ශ්‍රී සද්ධර්මය”, දේශනා කරන, කොරෝනා ධර්ම දේශනය හොඳින් ශ්‍රවණය කරලා, නුවණින් මෙනෙහි කරලා, සුන්දර ධර්මයක්ම වන කොරෝනාව තුළින් සුන්දර ධර්මයක්ම මතුකොට ගන්න. පංච උපාදානස්කන්ධ ලෝකයම අකුසලයෙන් ගිනිගත් මේ නිමේෂයේදී ඔබගේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස හොඳින් සංවර කරගන්න. හොඳින් රැකගන්න.

අතීතයේ නොරක්නා ලද සළායතනයයෝ, අතීතයේ නොදත්, නොදමනය කරගන්නා ලද සළායතනයෝ, වර්තමාන විනාශයට එකම වගකිවයුත්තා බව නුවණින් තේරුම් ගන්න. වර්තමානයේ කොරෝනා වසංගතය ගැන ඇසෙන් රූප දැක, කනෙන් ශබ්ද අසා, මනසින් සිතුවිලි සිතා මනස අසංවර කරගන්න නම් එපා.